G20 සමුළුව: බ්‍රිතාන්‍ය ජනමතයෙන් පසු ලෝක ආර්ථිකය අවිනිශ්චිතයි

Image copyright Getty Images

යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට බ්‍රිතාන්‍යය ජනමත විචාරණයෙන් ප්‍රකාශිත ප්‍රථිපලය ලෝක ආර්ථිකය පවතින අවදානම් තත්වය වැඩි කිරීමට හේතුවක් වී ඇති බව G20 සමුළුවේ ආර්ථික විශේෂඥයෝ පවසති.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි රටවල් විස්ස නියෝජනය කරමින් මෙවර චීනයේ පැවති G20 සමුළුවට සහභාගී වූ ආර්ථික විශේෂඥ කණ්ඩායම කියා සිටියේ පසුගිය මාසයේ පැවති බ්‍රිතාන්‍ය ජනමත විචාරණයේ ප්‍රතිඵලය මේ වන විට ලෝක ආර්ථිකයටම අවදානම් අවිනිශ්චිත බවක් එක් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් අනාගතයේ දී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සමග ඉතා හිතවත් ආර්ථික සම්බන්ධතාවක් පවත්වා ගෙන යනු ඇති බවටයි ඔවුන් සිය විශ්වාසය පළ කරන්නේ.

Image copyright Getty Images
Image caption බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍ය ෆිලිප් හැමන්ඩ්

බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍ය ෆිලිප් හැමන්ඩ් මාධ්‍ය අමතමින් කියා සිටියේ යුරෝපා සංගමය සමග සිදු කෙරෙන ඉවත් වීමේ සාකච්ඡා සිදු කරන තුරු ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිත ස්වභාවය දිගින් දිගටම පැවතීම යථාර්ථය වන බවයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට ලැබුණු ජනමත විචාරණ ප්‍රතිඵලයෙන් ආර්ථිකයට එල්ල වන සියලුම ආර්ථික සහ මූල්‍ය බලපෑම් වලට මුහුණ දීමට G20 රටවල් සමූහය සූදානම් වී ඇති බවත් සමුළුවේදී ප්‍රකාශ කෙරිණි.

කෙසේ වෙතත් ලෝක ආර්ථිකය බ්‍රිතාන්‍යයේ තීරණය අරුණු කොට දේශ සීමා අර්බුද, ත්‍රස්තවාදය, සහ නොනවතින සංක්‍රමණික ප්‍රශ්නයෙන් ඉතා දරුණු ලෙස පීඩා විඳිමින් සිටින බවයි G20 ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Image copyright PA

ජර්මනියේ මහ බැංකු අධිපති යෙන්ස් වයිඩ්මන් කියා සිටියේ බ්‍රිතාන්‍ය ජනමත විචාරන ප්‍රතිඵල ආර්ථිකයේ හදිසි තිගැස්මක් ඇති කරමින් සිටියත් අපේක්ෂිත යුරෝපා ආර්ථික වර්ධනයට තවමත් ඉන් බලපෑමක් ඇති වන බවට සංඥා ලැබී නැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගිය සතියේ බ්‍රිතාන්‍ය ආර්ථික වර්ධනය 1.9% සිට 1.7% දක්වා පහළ ගොස් ඇති බව වාර්තා කරනු ලැබූ අතර කියා සිටියේ ප්‍රතිපලයක් ලෙස ලෝක ආර්ථික වර්ධනය 3.2% සිට 3.1% දක්වා පහත වැටී ඇති බවයි.

G20 සමුළුවේ ආර්ථික විශේෂඥයන් කියා සිටියේ එල්ල වී ඇති මෙම සෘන බලපෑමෙන් මිදීමට මේ වන විට ලෝක ආර්ථිකයේ යම් ප්‍රතිසාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබුනද සිදු වී ඇති හානිය හා සසඳන විට එය ප්‍රමාණවත් නොවන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර