'තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගන්න'

  • 2016 අගෝස්තු 5
Image caption බොහෝ පුගල ඝාතන සඳහා යොදාගෙන තිබුණේ තියනු ලෙස කැපෙන ආයුධයි

ජනතාවට ආරක්ෂාව සැපයීම පොලීසියට පමණක් තනිව කළහැකි දෙයක් නොවන බව පොලීසියත් ජනතාවත් දෙපාර්ශවයම අවබෝධකරගෙන ඇති බව එළිදැක්වෙන නව ආරක්ෂක වැඩ පිළිවෙලක් බංග්ලාදේශයේ ධකා නුවර දී ආරම්භ වී තිබේ.

පසුගිය වසරක දෙකක කාලය තුළ බංග්ලාදේශය පුරා පැතිර ගිය ඝාතන රැල්ලක් හේතුවෙන් අනාගමික බ්ලොග් කරුවන්, අදේවවාදී ලේඛකයන්, කිතුනු වෙළඳසැල් හිමියන්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සමලිංගික ක්‍රියාධරයන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ හින්දු පුජකයන් වැනි ඉස්ලාම් භක්තිකයන් නොවන පනස්දෙනකු මරණයට පත්විය.

ඒ අතර මීට මසකට පමණ පෙර බංග්ලාදේශයේ ඩකා අගනුවර ආපන ශාලාවකට තුවක්කුකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් විදේශිකයන් විසි දෙනෙකු මරණයට පත්වූ බවයි වර්තාවූයේ.

Image caption ක්‍රියාධරයකු වන ජුල්හාස් මන්නම්, සමලිංගික අයිතීන් වෙනුවෙන් බංගලාදේශය තුළ හඬ නගන එකම සඟරාවේ කර්තෘවරයායි.

බංග්ලාදේශයේ බීබීසී වාර්තාකරු අක්බාර් හුසේන් පවසන්නේ පොලීසියේ ඉල්ලීම මත එක් එක් ප්‍රදේශයේ ජනතාව තම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානය වී ඇති බවයි.

තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගැනීමට උත්සාහ ගන්නා ලෙස පොලීසිය ධකා වැසියන් ගෙන් ඉල්ලා සිටි බවයි අක්බාර් පැවසුවේ.

"ඉන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අපේ රටේ ජනගහණය එක්ක බලපුවම ප්‍රමාණවත් නැහැ හැම ප්‍රදේශයකටම ආරක්ෂාව දෙන්න. ඇත්තටම පොලීසිය මේ ප්‍රදේශය පුරාම මුර සංචාරයේ යෙදෙනවා. එත් එක්කම ධකා නගරවසීන්ගෙන් ඉල්ලීමක් කරලා තියනව පුලුවන්නම් තමන්ගේම ආරක්ෂක වැඩපිළිවෙලක් හදා ගන්න කියල. ඒක පොලීසියට උදව්වක් කියලයි ඔවුන් කියන්නෙ" යනුවෙනුයි ඔහු පැවසුවේ.

ධකා අගනුවර සමූහ ඝාතනයට කලින් සිදුවුණු හැම පුද්ගල ඝාතනයකින්ම මරා දමා තිබුණේ ඉස්ලාම් භක්තිකයන් නොවන අයයි.

Image caption රාජ්ශාහි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ඒ එෆ් එම් රෙසෞල් කරීම් නමැති මහාචාර්යවරයා මරා දමා තිබුණේ තියුණු ආයුධ වලින් තුවාල සිදුකිරීමෙනි

ඇමෙරිකාවේ ජීවත් වෙන අවිජිත් රෝයි නම් අදේවවාදී ලේඛකයා එක්සත් ජනපදයේ සිට 'ඩකා'අග නුවරට පැමිණ සිටියේ පොත් ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහායි.

එක්තරා කණ්ඩායමක් විසින් ඔහුට විශාල පිහිවලින් පහර දී කපා කොටා ඝාතනය කොට තිබුණි.

ආගමික නිදහස වෙනුවෙන් අන්තර්ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යන අවිජිත් රෝයි මරණ තර්ජනවලට ලක් වූයේ එහි පළ කළ අදේවවාදී ලිපි නිසා බවයි බීබීසී මාධ්‍යවේදී නරේෂ් කෞශික් ප්‍රකාශ කළේ.

අහමද් රජිබ් හයිදර් නමැති බ්ලොග් මාධ්‍යකරුවෙක්, ගිනිකොන දිග දිස්ත්‍රික්කයේ බන්දාබන් වල දී 75 වියැති බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්, බටහිර බංග්ලාදේශයේ රාජ්ශාහි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ඒ එෆ් එම් රෙසෞල් කරීම් නමැති මහාචාර්යවරයෙක් ඇතුළු අනාගමික මත වාදී නීති ශිෂ්‍යයන්, සමලිංගික ක්‍රියාධරයන්, සහ බංග්ලාදේශයේ හින්දු පුජකවරයන් ද ඝාතනයට ලක්වුවන් අතර සිටී.

Image copyright FocusBangla
Image caption දහස් ගණන් පිරිස් අත්අඩංගුවට ගනිමින් පොලීසිය අසීමිත උත්සහයක් ගත්තද ඝාතන රැල්ල දිගටම පැවතුනි

මේ ඇතැම් ඝාතනවල වගකීම භාරගෙන තිබුණේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් කණ්ඩායම් සහ අල් ඛයිදා සංවිධානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් විසිනි.

ඝාතනයන් සිදුවුණු හැම අවස්ථාවකම දහස් ගණන් පිරිස් අත්අඩංගුවට ගනිමින් පොලීසිය අසීමිත උත්සහයක් ගත්තද එක් ඝාතනයක උණුසුම මැකී යනවාත් සමගම තවත් එවැනිම ඝාතනයක් අසන්නට ලැබුණි.

එබැවින් ජනතාවගේ සහය ලබාගැනීමට පොලීසිය තීරණය කළ බවයි අක්බාර් ප්‍රකාශ කළේ.

"විශේෂයෙන් ජනතාව පදිංචි වෙලා ඉන්න ප්‍රදේශ වලට ඇතුල්වෙන තැන් වලයි පිටවෙන තැන්වලයි ආරක්ෂක ගේට්ටු යොදන්න ජනතාවම සංවිධානයවෙලා. රාත්‍රී එකොළහෙන් පස්සෙ පිටස්තර අයට මේ ගේට්ටුවලින් ඇතුල්වෙන්න දෙන්නෙ නැහැ. මේක මුලිකවම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා කරන දෙයක්. ජනතාව පදිංචිවෙලා ඉන්න ප්‍රදේශවල ප්‍රහාර සිදුවීමේ අවදානමක් පවතිනව" යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.

මේකෙන් අදහස් වෙන්නෙ නැහැ පොලීසිය ආරක්ෂාව ජනතාව පිට පටවා වගකීමෙන් නිදහස් වන බවක් මෙයින් අදහස් නොවන බවයි අක්බාර් ප්‍රකාශ කළේ.

මුස්ලිම් ප්‍රජාව වැඩි වශයෙන් ජීවත්වන බංග්ලාදේශය නිල වශයෙන් 'අනාගමික' රටක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද විවේචකයන් පවසන්නේ මෙවැනි ප්‍රහාර නැවැත්වීම සඳහා සුදුසු පියවර ගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි. කෙසේවුවද ආරක්ෂාව සලසා ගැනීම පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවීම හොඳ ප්‍රවනතාවයක් බවයි අක්බාර් හුසේන් ප්‍රකාශ කළේ.