පහසු මිලට ගෙන්වන ඉන්දීය නිෂ්පාදිත ඖෂධ වල මිල ඉහළ යාමේ අවදානමක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දීය සාධාරණ ඖෂධ වෙළඳපොළ වැසෙන ලකුණු

  • 2016 අගෝස්තු 6

ලෝකයේ බොහෝ රට වලට ඉතා පහසු මිලට ඖෂධ අපනයනය කරන ඉන්දියාව විදේශීය සමාගම් වලට සිය රටේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ආයෝජන සඳහා දොර විවර කිරීමට පියවර ගෙන තිබේ.

ඉන්දීය ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණයක් සමඟ අනාගතයේ දී පහසු මිලට ඖෂධ ලබා ගැනීමේ වාසිය එරට අඩු ආදායම්ලාභී ජනයාට මෙන්ම ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කරන දුප්පත් රටවලට අහිමි විය හැකි බවට සැක මතු වෙමින් පවතී.

බීබීසියේ මුම්බායි වාර්තාකරු සමීර් හෂ්මි ඉදිරිපත් කළ තොරතුරු ඇසුරින් පවිත්‍රා පෙරේරා සැකසූ වාර්තාවට සවන් දෙන්න.

මෑතක් වන තුරුම විදේශීය සමාගම් වලට මිල දී ගත හැකිව තිබුණේ ඉන්දියානු ඖෂධ සමාගම් වලින් 49% ක කොටස් පමණි.

නමුත් මේ වන විට ප්‍රතිශතය 74% දක්වා ඉහළ දැමීමටත් රජයේ විශේෂ අවසරයක් ලබා ගැනීමෙන් පසු 100% ක ආයෝජන හරහා ඉන්දීය සමාගම් වල අයිතිය ලබා ගැනීමටත් විදේශීය සමාගම් වලට අවසර ලබා දීමට ඉන්දියානු රජය පියවර ගෙන තිබේ.

ඉන්දීය ඖෂධ කර්මාන්තය මෙතරම් සාර්ථකව වර්ධනය වන්නේ, රජයේ ආධාර, සුළු මුදලකට ලබා ගත හැකි ශ්‍රමය සහ ඉතා අඩු වියදමක් යටතේ පවත්වා ගෙන යන කර්මාන්තශාලා හේතුවෙනි.

Image copyright STR

විදේශීය රටවල් වල දීර්ඝ කාලීන වශයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ සහ අත්හදා බැලීම් හරහා නිර්මාණය වූ මිල අධික ඖෂධ වර්ග අධ්‍යනය කොට ඊට සමාන ප්‍රතිඵල ලබා දෙන ඉතා අඩු වියදමකින් නිපදවිය හැකි ඖෂධ නිර්මාණය කිරීමේ හැකියාව අතින් ඉන්දියාව ඉතා ඉදිරියෙන් සිටියි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෝපය පළ කරන ඇමරිකාව සහ තවත් ලෝක ඖෂධ සමාගම් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම වැඩ පිළිවෙල වැළක්වීම සඳහා ඉන්දියාවේ බුද්ධි දේපළ සම්බන්ධයෙන් ඇති නීති රීති ක්‍රමවත් කරන ලෙසයි.

ඉන්දීය සෞඛ්‍ය සේවා ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ ලෝකයේ දුප්පත් රටවල් බොහොමයකට මිලදී ගැනීමේ හැකියාව ඇති අඩු මිල බෙහෙත් ද්‍රව්‍ය සපයන ප්‍රධානම ඖෂධ සමාගම් ඇත්තේ ඉන්දියාවේ බැවින් ඉන්දීය සමාගම් වල අයිතිය විදේශීය ආයෝජකයන් සතු වුවොත් මෙම දුප්පත් රටවලට මිලෙන් අඩු බෙහෙත් ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි අවදානම් තත්වයක් ඇති වීමට ඉඩ ඇති බවයි.

2020 වන විට ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම් ඉතා ඉහල ආර්ථික වර්ධනයක් කරා ලඟා වන බවටයි ගණන් බලා තිබෙන්නේ.

මේ හරහා ඉන්දීය සමාගම් වලට විශාල වශයෙන් විදේශ ආයෝජන ගලා ඒමේ දොරටු විවර වන අතර එය මිලෙන් අඩු ඖෂධ නිෂ්පාදනය දැඩි අවදානමකට මුහුණ දිය හැකියි.