අල්ලස් ඉල්ලන ඉන්දීය රජයේ රෝහලක්

  • 2016 අගෝස්තු 11
Image caption විචාරකයන් පවසන්නේ ඉන්දියාවේ රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් කාර්ය මණ්ඩල සේවකයන් රෝගීන්ගෙන් අල්ලස් ගැනීම විශාල වශයෙන් පැතිරී ඇති බවයි.

බිළිඳකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල් කාර්යමණ්ඩලයට අල්ලස් දීමට දෙමව්පියන් අපොහොසත් වීම නිසා ප්‍රතිකාර පමාකරනු ලැබීමෙන් එම දරුවා මරණයට පත්වීමක් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වෙන බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය පවසයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 'බාහ්රායිච්' නම් රෝහලට අධික උණෙන් පෙළුණු දස මසක් වයසැති සිය බිළිදා ප්‍රතිකාර සඳහා ගෙන ගිය බවයි මියගිය දරුවාගේ දෙමව්පියන් පවසන්නේ.

දෙමව්පියන් වැඩි දුරටත් කියා සිටියේ සිය දරුවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ලියාපදිංචි කිරීම පමා කරමින් ඒ වෙනුවෙන් හෙදියක් අල්ලසක් ඉල්ලා සිටි අතර දරුවා තැබීමට ඇඳක් ලබා ගැනීමට සාත්තු සේවකයෙකු නැවතත් අල්ලස් ඉල්ලූ බවයි.

දෙමව්පියන්ගෙන් අල්ලස් ඉල්ලා සිටි හෙදියට සහ සාත්තු සේවකයාට එරෙහිව වෘත්තීය පියවර ගත් බව පවසන අදාළ රෝහලේ කළමනාකරණය සිය සේවකයන්ගේ ක්‍රියාකලාපය දරුවාගේ මරණයට හේතු වී නැති බව පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කරති.

විචාරකයන් පවසන්නේ ඉන්දියාවේ රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් කාර්ය මණ්ඩල සේවකයන් රෝගීන්ගෙන් අල්ලස් ගැනීම විශාල වශයෙන් පැතිරී ඇති බවයි.

පිහිටක් නැතිව මහ මග මිය ගිහින්

Image caption ඉන්දියාවේ මාර්ග අනතුරු වලට ලක්වන පුද්ගලයන්ට එම ස්ථානය පසුකර යන මගීන් කිසිවෙකු උපකාර කිරීමෙන් වැළකී සිටීම විශාල වශයෙන් සිදු වෙයි.

මේ අතර ඉන්දියාවේ දිල්ලි නුවර රිය අනතුරකට ලක් වූ පුද්ගලයෙකු කිසිවකුගේ උපකාරයක් නොලබා පැය එකහමාරක් පමණ කාර්යබහුල මාර්ගයක වැතිර සිට මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මාර්ගයේ සවි කර තිබූ CCTV කැමරාවේ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලාහි සංසරණය වෙමින් පවතින අතර එහි දැක්වෙන්නේ අනතුරට ලක්වූ වෑන් රියේ රියදුරා මදකට වාහනය නතරකොට තුවාල ලබා වැතිර සිටින පදිකයා දෙස බලා නැවතත් සිය රථයට නැගී වේගයෙන් පලා යන අයුරුයි.

ඉන් සුළු වෙලාවකට පසු එම මාර්ගයේ ගමන් කරන තවත් මගියෙක් තුවාල ලබා සිටින පුද්ගලයා වෙත ගොස් ඔහු සතුව තිබූ ජංගම දුරකථනය උදුරාගෙන එතැනින් පළා යයි.

මිය ගිය පුද්ගලයා අනතුරට ලක්ව තිබෙන්නේ සිය රාත්‍රී වැඩ මුරය අවසන් කොට සිය නිවෙස බලා ගමන් කරමින් සිටියදීයි.

මෙම සිදුවීම හේතුවෙන් ඉන්දියාවේ මාර්ග අනතුරු වලට ලක්වන පුද්ගලයන්ට එම ස්ථානය පසුකර යන මගීන් කිසිවෙකු උපකාර කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් විශාල සමාජමය කතාබහක් ඇතිවී ඇති බවයි වාර්තා වෙන්නේ.