පැය තිස් අටක් මහ මුහුදේ

  • 2016 අගෝස්තු 15
Image copyright Getty Images
Image caption රෝයල් කැරබියන් සුඛෝපභෝගී මගී නෞකාවේ පස් දින සංචාරයක යෙදෙමින් සිටි ඇය ෂැන්හයි නුවර සිට දකුණු කොරියාව හරහා ජපානය වෙත ලඟා වීමටයි සැලසුම් කොට තිබෙන්නේ.

සුඛෝපභෝගී මගී නෞකාවක ගමන් කරමින් සිටියදී මුහුදට වැටුණු චීන ජාතික කාන්තාවක් පැය තිස් අටක් මුහුදේ පිහිනමින් සිය ජීවිතය රැක ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

පැය තිස් අටක් මුළුල්ලේ මුහුදේ ගිලීමෙන් වැළකී සිටි ඇය පසුව ධීවරයන් කණ්ඩායමක් විසින් බේරා ගනු ලැබුණු බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.

වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වුනේ චීනයේ ෂැන්හයි නුවර විසූ ෆැන්ග් නම් මෙම තිස් එක් හැවිරිදි කාන්තාව මගී නෞකාවේ හතර වැනි තට්ටුවේ සිට මුහුද දෙස බැලීමට උත්සාහ කිරීමේදී මුහුදට වැටී ඇති අතර නෞකාවේ හතරවැනි තට්ටුවේ සිට මුහුදු මට්ටමට උස සාමාන්‍ය ගොඩනැගිල්ලක තට්ටු හතකට සමාන බවයි.

රෝයල් කැරබියන් සුඛෝපභෝගී මගී නෞකාවේ පස් දින සංචාරයක යෙදෙමින් සිටි ඇය ෂැන්හයි නුවර සිට දකුණු කොරියාව හරහා ජපානය වෙත ලඟා වීමටයි සැලසුම් කොට තිබෙන්නේ.

මුහුදු රළ සමග නෞකාවෙන් ඈතට ගසාගෙන ගිය ඇය ධීවර බෝට්ටුව හමු වන තුරුම පිහිනමින් සහ පාවෙමින් ජලයේ ගිලීම වළක්වාගෙන සිය දිවි ආරක්ෂා කර ගැනීමට සමත් වූ බවයි පවසන්නේ.

බීමට ජලය හෝ කිසිදු ආහාරයක් නොමැතිව පැය තිස් අටක් මුළුල්ලේ මුහුදු ජලය මතුපිට රැඳෙමින් මෙලෙස දිවි ගලවා ගැනීම ආශ්චර්යයක් බවයි චීන වැසියන් සමාජ මාධ්‍ය ජාලාහි අදහස් පළ කළ කරමින් කියා සිටියේ.