ප්‍රවේශපත් වංචාවකට ඔලිම්පික් ප්‍රධානියෙක් අත්අඩංගුවේ

  • 2016 අගෝස්තු 18
Image copyright JACK GUEZ/AFP
Image caption යුරෝපා ඔලිම්පික් කමිටුවේ සභාපති පැට්‍රික් හිකී (Patrick Hickey)

බ්‍රසීල පොලිසිය විසින් යුරෝපා ඔලිම්පික් කමිටුවේ සභාපති පැට්‍රික් හිකී (Patrick Hickey) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ජ්‍යෙෂ්ඨ ඔලිම්පික් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ ක්‍රීඩා තරඟ නැරඹීමේ ප්‍රවේශ පත්‍ර නීතියට පටහැණිව විකිණීමේ අපචාරයක් සම්බන්ධයෙනි.

පැට්‍රික් හිකී (Patrick Hickey) අයර්ලන්ත ජනරජයේ ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

සැකකාර ඔලිම්පික් නිලධාරියා ඔලිම්පික් කමිටුව සඳහා වෙන් කරනු ලැබ තිබූ තරඟ නැරඹීමේ ප්‍රවේශ පත්‍ර අතරමැදියන්ට ලබා දී ඇති අතර ඔවුන් ඒවා කළු කඩයේ විශාල මිල ගණන් වලට විකුණා ඇති බවයි වාර්තා වෙන්නේ.

Image copyright SNTV
Image caption පැට්‍රික් හිකී සිය පුතුගේ නමින් වෙන් කරවා ගත් වෙනත් කාමරයක සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

රියෝ ද ජෙනේරෝ නගරයේ සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන සිටි පැට්‍රික් හිකී ඇමතීමට පොලිසිය උත්සාහ ගත් අවස්ථාවේ ඔහුගේ භාර්යාව බලධාරීන්ට දන්වා තිබෙන්නේ සිය ස්වාමියා සති අන්තයේ අයර්ලන්තය බලා ගිය බවයි.

කෙසේ වෙතත් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූ තොරතුරු අනුව හෝටලයට කඩා වැදුණු පොලිස් කණ්ඩායම් පැට්‍රික් හිකී සිය පුතුගේ නමින් වෙන් කරවා ගත් වෙනත් කාමරයක සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගන්නා ලද ඔහු පසුව (Patrick Hickey) සෞඛ්‍යය ප්‍රතිකාර ඉල්ලා සිටි හෙයින් රෝහල්ගත කරන ලද බවයි රියෝ ද ජෙනේරෝ නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන යුරෝපා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා කියා සිටියේ තමන් නිර්දෝෂී බවයි.

මේ අතර ජාත්‍යන්තර ක්‍රීඩා සත්කාරක සමාජයක අධ්‍යක්ෂවරයකු වන තවත් අයිරිෂ් ජාතිකයකු සහ පැට්‍රික් හිකී (Patrick Hickey) පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධතාවයක් ඇති බව බ්‍රසීලයේ මාධ්‍ය මගින් වාර්තා කර තිබේ.