කාන්තාවන්ටත් මුම්බායි මුස්ලිම් දේවස්ථානයක දොර ඇරෙයි

  • 2016 අගෝස්තු 26
Haji Ali mosque Image copyright AFP
Image caption මුම්බායි නගරයේ හජ් අලි දේවස්ථානයට ඇතුළුවීමට අවසර ලබාදෙන්නැයි කාන්තාවන් කළ ඉල්ලීම අධිකරණය අනුමත කරයි

මුම්බායි නගරයේ හජ් අලි මුස්ලිම් දේවස්ථානයේ පූජනීය ඇතුල් කුටියට යාමට කාන්තාවන්ට පනවා තිබූ තහනම අධිකරණයක් විසින් ඉවත්කරනු ලැබ තිබේ.

මුම්බායි මහාධිකරණය කාන්තාවන්ට ඇති තහනම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ කාන්තාවන්ට වෙනස්කොට සැලකීමක් ලෙස පැවසූ බවයි නීතිඥයන් පවසන්නේ.

2012 දී සුෆි දේවස්ථානයේ පාලක මණ්ඩලය මගින් මෙම තහනම පනවනු ලැබුවේ පුරුෂ සාන්තුවරයන්ගේ සොහොන්ගැබ ස්පර්ශ කිරීමට කාන්තාවන්ට ඉඩදීම 'පාපයක්' බව පවසමින්.

පසුගිය මාස කිහිපය තුළ කාන්තාවන්ටත් ආගමික ස්ථාන වලට ඇතුළුවීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉන්දියාව තුළ විරෝධතා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

හින්දු සහ මුස්ලිම් දෙපිරිසටම අයත් ක්‍රියාධරයන් ඉන්දියාව පුරා ආගමික ස්ථාන වල බලධාරීන් අධිකරණයට රැගෙන ගියහ.

කෙසේවුවද, සිකුරාදා අධිකරණ තීන්දුව අනුව වහාම කාන්තාවන්ට හජ් අලි දේවස්ථානයට ඇතුල්වීමට නොලැබෙන අතර අධිකරණ තීන්දුව පිලිබඳ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දේවස්ථාන බලධාරීන්ට ඉඩ ලබාදෙමින් සති හයක කාලයක් තීන්දුව අත්හිටවනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

අයිතිවාසිකම් පිලිබඳ හඬ නගන කණ්ඩායමක් බව 'භාරතීය මුස්ලිම් මහිලා ආන්දෝලන්'(BMMA) සංවිධනයේ සකියා සොමාන් පැවසුවේ 15 වැනි සියවසේ දේවස්ථානයට ඇතුල්වීමට කාන්තාවන්ට පැවති බාධාව ඉවත්කරමින් දුන් මෙම අධිකරණ තීන්දුව ඓතිහාසික එකක් වන බවයි.

මෙම අධිකරණ තීන්දුව මගින් අනෙකුත් ප්‍රදේශ වල ආගමික ස්ථාන වලට කාන්තාවන්ට ඇතුල්වීමට අවසර දෙන ලෙස ඉල්ලා කෙරෙන ඉල්ලීම් වලට නව ජවයක් ගෙන එනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්