අප්‍රිකාවේ සහ ආසියාවේ කෝටි දෙසීයකට සීකා වැළඳීමේ තර්ජනයක්

  • 2016 සැප්තැම්බර් 2
Image copyright Science Photo Library
Image caption සීකා වෛරසයේ වාහක මදුරු විශේෂය (Aedes aegypti mosquito)

අප්‍රිකාවේ සහ ආසියාවේ කලාප රැසක පැතිරෙමින් පවතින සීකා වෛරසය මේ වන විට කෝටි දෙසීයක ජනතාවට වැළඳීමේ තර්ජනයක් පවතින බව බ්‍රිතාන්‍යයේ පළ කෙරෙන ලාන්සෙට් (The Lancet) විද්‍යා සඟරාවට ලියන විද්‍යාඥයෝ පවසති.

ඉන්දියාව, ඉන්දුනීසියාව සහ නයිජීරියාවේ වෙසෙන ජනතාව අතර සීකා වෛරසය පහසුවෙන් පැතිරීමට ඉඩකඩ පවතින බවයි නව සමීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ.

විද්‍යාඥයන් කණ්ඩායම විසින් මෙම අනාවැකි ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ අදාළ රටවල ගුවන් ගමන් වල යෙදෙන පුද්ගලයන්ගේ තොරතුරු අධ්‍යනය කිරීමෙනි.

කෙසේ වෙතත් සීකා වයිරසය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය කරන ප්‍රතිශක්තීකරණය වෛරසය පැතිරෙමින් පවතින කලාපයෙන්ම සොයා ගැනීම තුළින් සීකා වසංගතයක් බවට පත් වීම වළක්වා ගැනීමට ඉඩකඩ පවතින බවයි ඔවුන් පවසන්නේ.

දේශගුණික සහ පාරිසරික සාධක

ලන්ඩනයේ 'ස්කූල් ඔෆ් හයිජින් ඇන්ඩ් ට්‍රොපිකල් මෙඩිසින්'(London School of Hygiene and Tropical Medicine), ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පරීක්ෂණ වල යෙදෙන මෙම විද්‍යාඥයන් කණ්ඩායම පෙන්වා දෙන්නේ සීකා වයිරසය පැතිරීමේ දැඩි අවදානමක් පවතින රටවල ජීවත් වන විශාල ජනගහනය හේතුවෙන් වෛරසය වැළඳීම වැලැක්වීම හෝ රෝගී පුද්ගලයන් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතාමත් අපහසු වනු ඇති බවයි.

සීකා වයිරසය සීග්‍රයෙන් පැතිර යමින් ඇති දකුණු ඇමෙරිකාවේ සිට සීකා තර්ජනය ඉහළ මට්ටමක පවතින අප්‍රිකා සහ ආසියා මහද්වීප වලට ගුවනින් ගමන් ගන්නා ප්‍රමාණය සහ අදාළ රටවල පවතින දේශගුණික සහ පරිසර සාධක සැලකිල්ලට ගැනීමෙන් පසු මෙම නිගමන වලට එළඹී බවයි විද්‍යාඥයන් කණ්ඩායම පෙන්වා දෙන්නේ.