විද්‍යුත් කෙළිබඩු මාරාන්තිකයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විද්‍යුත් කෙළිබඩු මාරාන්තිකයි

  • 2016 සැප්තැම්බර් 22

විද්‍යුත් කෙළිබඩු වලට සවි කරන රවුම් හැඩති බොත්තම් බැටරියක් මුඛය හරහා ශරීරගත වන ළදරුවෙකුගේ උගුරේ ඇතුළු සමේ (අන්නස්රෝතය) දරුණු පිළිස්සුම් තුවාල ඇති වන බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

බ්‍රිතාන්‍යයේ 'ලන්ඩන් ග්‍රේට් ඔර්මොන්ඩ් ස්ට්‍රීට්' රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ පසුගිය වසරක කාලය තුළ මෙම බොත්තම් බැටරි මුඛය හරහා උගුරට ඇතුළු වීමෙන් අනතුරට පත් ළදරුවන් සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩි වීමක් දැක ගත හැකි බවයි.

Image caption බොත්තම් බැටරියක් උගුරට ඇතුළු වීමේ අනතුරකින් සුව කළ නොහැකි අයුරින් ආහාර ජීර්ණ පද්ධතියට හානි සිදු වී ඇති තෙහැවිරිදි 'වැලරියා'

මෙම බොත්තම් බැටරි මාරාන්තික විෂක් සේ සලකා දරුවන්ට ලඟා විය නොහැකි වන පරිදි ඈත් කිරීමට දෙමව්පියන් ක්‍රියා කළ යුතු බවයි 'ලන්ඩන් ග්‍රේට් ඔර්මොන්ඩ් ස්ට්‍රීට්' රෝහලේ ශල්‍යවෛද්‍ය කේට් ක්‍රොස් කියා සිටියේ.

'උගුරේ සිරවූ බොත්තම් බැටරියක්'

2015 වසරේ සෙල්ලම් අත් ඔරලෝසුවක සවි කොට තිබූ බොත්තම් බැටරියක් අනුභව කිරීමට උත්සාහ කළ තෙහැවිරිදි 'වැලරියා' සුව කළ නොහැකි අයුරින් බරපතළ ලෙස තුවාල ලද අතර මේ වන විට ඇය ආහාර ගන්නේ උගුරට පිටතින් ඇතුළු කරන ලද බටයක් හරහායි.

'වැලරියා' දින පහක් මුළුල්ලේ දිගින් දිගටම ආහාර පාන දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් හැඩීමට හේතු සොයා බැලීමට රෝහල වෙත ගෙන යාමෙන් පසු ලබා ගත් එක්ස් කිරණ පරීක්ෂණයකින් ඇගේ උගුරේ සිරව ඇති බොත්තම් බැටරිය සොයා ගැනීමට වෛද්‍යවරු සමත් වූ බවයි දැරියගේ මව කියා සිටියේ.

ඒ වන විට වැලරියාගේ අන්නස්රෝතයට පමණක් නොව ශ්වාසනාලයටද දැඩි ලෙස හානි සිදු කරමින් සංවේදී සම පිළිස්සීමට ලක්ව තිබූ අතර දැරිය ශල්‍යකර්ම කිහිපයකට භාජනය කිරීමෙන් පසු අහාර පාන ඇතුළු කිරීමට උගුරට බටයක් සවි කිරීමට වෛද්‍යවරු පියවර ගත්හ.