එල්ටීටීඊය යුරෝපා ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවතට?

  • 2016 සැප්තැම්බර් 23
Hamas supporter in Gaza Image copyright AFP
Image caption 2007 වසරේ සිට හමාස් සංවිධානය ඊශ්‍රායලය තුළ ගැටුම් තුනකට දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී කොටි සංවිධානය සහ පලස්තීන හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යුරෝපා සංගමයට සිදුවනු ඇති බව ඉහළ පෙළේ යුරෝපා අධිකරණ උපදේශිකාවක් පවසයි.

2014 දී අධිකරණය තීන්දු කළේ වර්ගීකරණය යළි සලකා බැලීමක් ලෙසින් නොව තහනම් කිරීමේ ක්‍රියාදාමයේ තාක්ෂණික දෝෂයක් සැලකිල්ලට ගෙන එම සංවිධාන අදාල ලැයිස්තුවෙන් ඉවත්කළ යුතු බවයි.

ඉන්පසු රටවල් 28 ක නියෝජනයෙන් යුතු යුරෝපා කවුන්සිලය එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය.

දැන් යුරෝපා අධිකරණ උපදේශිකාව පවසන්නේ එම අභියාචනය ඉවත දැමිය යුතු බවයි.

ප්‍රධාන නීති උපදේශිකාවගේ අදහස අවසන් තීන්දුවක් නොවන නමුත් යුරෝපා අධිකරණය (European Court of Justice - ECJ) සිය තීන්දුව දීමේ දී සාමාන්‍යයෙන් එම උපදෙස් අනුගමනය කෙරෙනු ඇති බවටයි සැලකෙන්නේ.

මුල්‍ය තැන්පතු

2001 වසරේ සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ දී සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සකස් කෙරුණු යුරෝපා සංගමයේ 'ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව' මගින් එවැනි සංවිධානවල මුල්‍ය තැන්පතු අවහිර කිරීමත් පොලීසිය සහ නීති නිලධාරීන් අතර සහයෝගීතාවය පවත්වාගැනීමත් අරමුණු කෙරිණි.

තහනම් කෙරුණු සංවිධාන සහ පුද්ගලයන් ගේ නම් විසි තුන අතර කුර්දි සන්නද්ධ කණ්ඩායමක් වන PKK, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශය, සහ ඉස්ලාම්වාදී ජිහාඩ් කණ්ඩායම්ද වේ.

හමාස් සහ එල්ටීටීඊ සංවිධානය එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවසාන තීරණය අදාළ එක් එක් රටවල් විසින් සකස්කරණු ලැබ ඇති ලැයිස්තුවලට බලපෑමක් සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

යුරෝපා සංගමයේ නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව සකසා ඇත්තේ අදාළ රටවල තීරණයන් අනුව වන බැවින් එම තීරණ ප්‍රශ්න කිරීමකට ලක් නොකෙරෙනු ඇති බවයි.

නමුත් ලැයිස්තුවෙන් ඉවත්කළහොත් එමගින් කණ්ඩායම් දෙකටම අරමුදල් රැස්කිරීමේ අවස්තාව සැලසේ.

ක්‍රමවේදයේ දෝෂයක්

තමන් ප්‍රතිරෝධවාදී සංවිධානයක් මිස ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව හමාස් සංවිධානය දැනටමත් ප්‍රකාශ කර තිබුණද ඊශ්‍රායලය තුළ විනාශකාරී කටයුතු සිදුකිරීමේ ක්‍රියාවන්ට එම සංවිධානය සම්බන්ධවී තිබේ.

යුරෝපා සංගමය, ඇමරිකාව, කැනඩාව සහ ජපානය හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා 2009 දී දෙමළ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ අතර එය තවදුරටත් සන්නද්ධ කණ්ඩායමක් ලෙස නොපවතී.

යුරෝපා අධිකරණයේ (European Court of Justice - ECJ) නීති උපදේශිකාව ප්‍රකාශ කළේ එම කණ්ඩායම් දෙක ත්‍රස්තවාදී සංවිධාන දෙකක් ලෙස නම් කිරීමෙන් යුරෝපා සංගමය තාක්ෂණික දෝෂයක් සිදු කර ඇති බවයි.

යුරෝපා සංගමයේ මානව හිමිකම් සම්මුතියම අදාළ රටවලද භාවිතයට ගෙන ඇතිදැයි සොයා බැලීමකින් තොරව යුරෝපා කවුන්සිලය එම රටවල තීන්දු මත පිහිටා කටයුතු කර ඇති බව පවසන ඇය ජනමාධ්‍යවල සහ අන්තර්ජාලයේ පලවූ සාක්‍ෂි මත යුරෝපා සංගමයේ තීන්දුව පදනම් නොවිය යුතුව තිබුණු බවයි.

බීබීසී යෙන්