ඉන්දියාව සහ ප්‍රංශය අතර ප්‍රහාරක ජෙට් යානා ගනුදෙනුවක්

  • 2016 සැප්තැම්බර් 25
A Rafale fighter jet performs during the Aero India air show at Yelahanka air base in Bengaluru, India, February 18, 2015. Image copyright Reuters
Image caption රෆේල්ස් ජෙට් යානයක් පසුගිය වසරේ ඉන්දියාවේ බෙන්ගලුරු ගුවන් හමුදා කඳවුරේ සංදර්ශනයකට සහභාගී වූ අකාරය.

ප්‍රධාන ආරක්‍ෂක ගනුදෙනුවකට අනුව ඉන්දියාව රෆේල්ස් ප්‍රහාරක ජෙට් යානා 36 ක් මිලදී ගැනීමේ ඇමරිකානු ඩොලර් බිලියන 8.7 ක ගිවිසුමට ප්‍රංශය සමග අත්සන් තැබීය.

සිකුරාදා ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය මනෝහාර් පරිකාර් සහ ප්‍රංශ නියෝජිත ෂෝන් යෙව්ස් ලෙ ඩ්‍රයන් අතර ගිවිසුම අත්සන් කෙරුනේ නවදිල්ලි අගනුවරදීය.

පසුගිය ජනවාරි මාසයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මෙම මිලදී ගැනීම පිලිබඳ නිවේදනය කළේය.

තමන් සතු සෝවියට් සමයට අයත් හමුදා බලය නවීකරණය කිරීමට ඉන්දියාව සැලසුම් කරන අතර මෙම ජෙට් යානා ගනුදෙනුව වසර ගණනාවක සාකච්ඡාවල ප්‍රතිඵලයකි.

මේ අනුව පළමු ජෙට් යානය 2019 වසර වන විට ඉන්දියාවට ලබාදීමට කටයුතු කෙරෙන අතර වසර හයක් ඇතුළත ප්‍රහාරක ජෙට් යානා 36 ම ලබාගැනීමට ඉන්දියාව සැලසුම් කනර බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව මුලින් ජෙට් යානා 126 ක් මිලදී ගැනීමට සැලසුම් කළද පසුව එම සංඛ්‍යාව 36 දක්වා අඩුකළේය.

එහෙත් රෆේල්ස් සමාගම මෙතෙක් ලබා ඇති වැඩිම යානා සංඛ්‍යාවකින් යුතු ඇනවුම සිකුරාදා ඉන්දියාවෙන් ලැබුණු ඇනවුම බවයි AFP පුවත්සේවය පවසන්නේ.

බීබීසී යෙන්