ගබ්සා තහනමට එරෙහිව පෝලන්ත කාන්තාවෝ පෙරට

  • 2016 ඔක්තෝබර් 4
Protesters dressed in black during the nationwide women's strike in Warsaw, Poland, 03 October, 2016. Image copyright EPA
Image caption කළු පැහැය යෝජිත ගබ්සා තහනමට විරෝධය පෑමේ වර්ණය ලෙසට යොදාගෙන තිබේ

ඔක්තෝබර් 03 වැනි සඳුදා වැඩ වර්ජනයකට එක්වූ දහස් ගණන් පෝලන්ත කාන්තාවෝ වීදි බැස රජය මගින් යෝජිත ගබ්සා තහනමට විරෝධය පළ කළහ.

අභිජනනය පිලිබඳ තමන් සතු අයිතිය පැහැර ගැනීම පිලිබඳ ශෝක වීම විදහා දක්වමින් කළු පැහැති ඇඳුමින් සැරසුණු ඔවුහු නගර වීදි ඔස්සේ පාගමනක යෙදුනහ.

ඔක්තෝබර් තුන් වැනිදා 'කළු සඳුදා' ලෙසින් නම් කළ විරෝධතා කරුවෝ වෝර්සෝ අගනුවර මෙන්ම පෝලන්තය පුරා ගබ්සාවට එරෙහි උද්ඝෝෂණ පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට සහය පල කරමින් බර්ලින්, බ්‍රසල්ස්, ඩසල්ඩ්රෝෆ්, බෙල්ෆාස්ට්, පැරිස් සහ ලන්ඩන් යන යුරෝපයේ වෙනත් නගර වලද විරෝධතා රැළි පැවැත්වුණි.

Image copyright EPA
Image caption වෝර්සෝ නගරයට රැස්වූ විරෝධතාකරුවන්ගෙන් නගර චතුරශ්‍රය පිරීගොස් තිබූ අයුරු

පෝලන්ත ජනතාවගෙන් වැඩි පිරිසක් කතෝලික භක්තිකයෝ වෙති.

ගබ්සාව මුළුමනින්ම තහනම් කිරීමේ නීතිය පාර්ලිමේන්තුව මගින් අනුමත වුවහොත් පෝලන්තයේ ගබ්සා නීතියද යුරෝපයේ තවත් රටවල් දෙකක් වන මෝල්ටාව සහ වතිකානයේ මෙන් දැඩි නීතියක් බවට පත්වෙනු ඇත.

ඒ අනුව ගබ්සාවකට භාජනය වූ කාන්තාවක් වසර පහක සිර දඬුවමකට යටත්වන අතර එය සිදු කළ වෛද්‍යවරයාද සිර දඬුවමකට යටත්කිරීමේ හැකියාව පවතී.

විරෝධතාව හේතුවෙන් පෝලන්තයේ දෛනික වෙළඳ කටයුතුවලට හෝ කාර්යාල කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල නොවුනද වඩාත් පැහැදිලිව පෙනීගියේ මෙම විරෝධතාවයට පැවති ජනතා සහයෝගයයි.

ඓතිහාසික වෝර්සෝ නගරයට රැස්වූ දහස් ගණන් පිරිස් උද්ඝෝෂණ පැවැත්වූ අතර ඇතැම් පිරිමින් අහාර පාන සහ සුප් වර්ග බෙදා දෙමින් ඔවුන්ට සහය පලකළ බවයි වාර්තා වන්නේ.

බොහෝ පෝලන්ත ජාතිකයන් ගබ්සා නීතිය තවදුරටත් දැඩි කිරීමටයි විරෝධය දක්වන්නේ. මෑතක දී පැවති සමීක්ෂණයකින් පෙනී යන ආකාරයට නව නීතිවලට සහය පළකරන්නේ 11% ක පිරිසක් පමණි.

විමසනු ලැබුවන්ගෙන් හරි අඩක් පමණ පිරිසක් පවසා තිබුණේ දැනට පවතින නීතිය නොවෙනස්ව පැවතිය යුතු බවයි. ඒ අතර තුනෙන් එකකට වඩා තරමක් වැඩි සංඛ්‍යාවක් පවසා තිබුණේ ගබ්සාව මුළුමනින්ම තහනම් කළ යුතුය යන්නයි.

Image copyright EPA

පහත සඳහන් තත්වයන් වලදී හැරුණු විට ගබ්සා කිරීම පෝලන්තය තුළ තහනම් කර ඇත.

  • කාන්තාවකගේ ජීවිතය අනතුරට පත්කරන අවස්ථාවක දී
  • කලලයට හානියක් සිදුවීමේ අවදානමක් පවතින අවස්ථාවක දී
  • ගැබ් ගැනීම ස්ත්‍රී දුෂණයක හෝ පවුල තුළ බලහත්කාරකමක ප්‍රථිපලයක් ලෙස සිදුවූ අවස්ථාවක (ඒ බව නීති මගින් සනාථ වූ අවස්ථාවක පමණක්)

විවේචකයන් පවසන්නේ ගබ්සා නීතිය දැඩි කිරීම මගින් ස්වභාවිකව කළලය ගබ්සා වූ කාන්තාවක් වුවද හිතා මතා ගබ්සා තත්වයට පත්වූවේද යන සැකය මත පරීක්ෂණ වලට ලක්විය යුතු බවයි.

ගර්භිනී භාවයේ මුල් වකවානුවේදී විවිධ සෞඛ්‍යමය හේතූන් මත ස්වභාවිකව ගබ්සාවීම් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පල්ලිය, රජය සහ යහපත් ජීවිතයක් සඳහා යැයි කියාගන්නා සංවිධාන කාන්තාවගේ ජීවිතය සැලසුම් කිරීම සාධාරණ නොවන බවයි එක් විරෝධතා කරුවෙක් පැවසුවේ.

එක් නාරිවේද වෛද්‍යවරයෙක් පැවසුවේ නව නීතිය හේතුවෙන් ගර්භිණී භාවය පරීක්ෂා කිරීමේ දී වෛද්‍යවරුන් කාන්තා ලින්ගේන්ද්‍රය තුළට අත දමා කරන පරීක්ෂා කිරීම් සහ ජීවිත බේරාගැනීම පිණිස කෙරෙන සැත්කම් ආදිය කිරීමේ මැලිකමක් දැක්විය හැකි බවයි.

මෙලොව එලිය දැකීමට පෙර ගර්භාෂය තුළ දී දරුවකු මියයන සෑම අවස්ථාවක දීම මවට සහ වෛද්‍යවරයාට වසර තුනක සිරදඬුවමක් නියම කිරීමේ හැකියාවක් පවතින බවයි වෝර්සෝ මහා රෝහලේ සේවය කරන මහාචාර්ය රෝමොල්ඩ් දෙබ්ස්කි ප්‍රකාශකළේ.

එසේම සති 32 ක ගර්භණී කාන්තාවක් අසාදිත ප්රි එක්ලම්සියා නමැති රෝගී තත්වයකට පත්වුව හොත් කුස තුල සිටින දරුවා මිය යාමට හැරීම හැර අන් විසඳුමක් නැති බවත් මහාචාර්ය රෝමොල්ඩ් වැඩිදුරටත් සඳහන් කළා.

සිසේරියන් සැත්කමකදී දරුවා මිය යන අවස්ථා වල දී ත් වෛද්‍යවරයාට තුන් අවුරුදු සිර දඬුවමක් නියම වීමේ අවදානමක් පවතින බවයි පැවසෙන්නේ.

ගබ්සාව මුලුමනින්ම තහනම් කිරීමට සහය පළකරන්නන් අතර කතෝලික පල්ලිය ප්‍රධාන තැනක් ගෙන තිබේ. මනුෂ්‍ය ජීවිතයකට උරුම විය යුත්තේ ස්වභාවික මරණයක් පමණක් බවයි ඔවුන් අදහස් කරන්නෙ.

එසේම පෝලන්තයේ විදේශ අමාත්‍යවරයාද විරෝධතා විවේචනයට ලක්කරමින් පවසන්නේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වන මෙය පිළිබඳව ඉතා තදින් සිතා බලා තීරණයක් ගත යුතු බවයි.