නොබෙල් සාම තෑග්ග කොළොම්බියාවේ ජනපති සන්තෝස්ට

  • 2016 ඔක්තෝබර් 7
Colombian President Juan Manuel Santos in press conference Image copyright EPA
Image caption කොළොම්බියාවේ ජනාධිපති හුවාන් මැනුවෙල් සන්තෝස් පසුගිය මාසයේ ෆාක් කැරලිකරුවන් සමඟ සාම ගිවිසුමකට අත්සන් තැබුවේය

වසර 52ක් මුළුල්ලේ වාමාංශික ගරිල්ලන් සමඟ පවතින ගැටුම් නිමාකිරීමට දරන උත්සාහය වෙනුවෙන් කොළොම්බියාවේ ජනාධිපති හුවාන් මැනුවෙල් සන්තෝස් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි.

ෆාක් කරලිකරුවන් සමඟ සාම ගිවිසුමක් අත්සන් තැබීම පිළිබඳව නොබෙල් ත්‍යාග කමිටුව ජනාධිපතිවරයා ප්‍රසංශාවට ලක් කළේය.

කැරලිකරුවන් සමඟ සාම ගිවිසුමකට කොළොම්බියා ආණ්ඩුව පසුගිය මාසයේ අත්සන් තැබුවේ වසර හතරක් මුළුල්ලේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

ජනමත විචාරණය

එහෙත් පසුගිය සතියේ පැවති ජනමත විචාරණයේදී කොළොම්බියාවේ ජනතාව ඉතා සුළු වැඩි ඡන්දයකින් එම ගිවිසුම ප්‍රතික්ෂේප කළහ.

දශක පහකට අධික ගැටුම්වලදී 260,000 කට අධික පිරිසක් මරුමුවට පත් වී තිබෙන අතර, ලක්ෂ හැටකට අධික ජනකායක් අවතැන් වූහ.

ජනමත විචාරණයේදී සාම ගිවිසුම ප්‍රතික්ෂේප කෙරුණත්, කැරලිකරුවන් සමඟ දිගටම සාකච්ඡා කරන බවට ජනාධිපතිවරයා සපථ කර තිබේ.

එහෙත් කැරලිකරුවන්ට ඕනෑවට වඩා සහන දී ඇති බවයි විවේචකයන් පවසන්නේ.