අබ්දෙස්ලාම් වෙනුවෙන් පෙනී නොසිටින බවට නීතිඥයන්ගෙන් ප්‍රකාශයක්

  • 2016 ඔක්තෝබර් 12
Image copyright Belgian/French Police
Image caption නිහඬව සිටීමට ඇති අයිතිය අනුව ඔහු දිගටම කටයුතු කරනු ඇති බව ද නීතිඥවරු පවසති

පසුගිය නොවැම්බර් මාසයේ පැරිස් නගරයට එල්ල වූ ඉස්ලාම්වාදී ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් දෙදෙනා, තවදුරටත් ඔහු වෙනුවෙන් ඉදිරිපත් නොවන බව පවසති.

ෆ්‍රෑන්ක් බර්ටන් සහ ස්වෙන් මේරි යන නීතිඥයින් ප්‍රංශ රුපවාහිනියට පැවසුවේ, තම සේවාදායක සලා අබ්දෙස්ලාම් ප්‍රකාශයක් කරනු ඇති බවය.

අබ්දෙස්ලාම්ගේ මානසික තත්වය පිරිහී ගොස් ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති අතර නිහඬව සිටීමට ඇති අයිතිය අනුව ඔහු දිගටම කටයුතු කරනු ඇති බව ද ඔවුන් පැවසීය.

දේශපාලනික වශයෙන් එල්ලවන පීඩනයේ ප්‍රතිපලයක් ලෙස, නිරතුරු පරීක්‍ෂාවට ලක්වෙමින් සිරමැදිරියක සිටින ඕනෑම අයෙක් උන්මාද තත්වයට පත්විය හැකි බව නීතිඥ බර්ටන් පෙන්වා දුන්නේය.

පැරිස් ප්‍රහාරයේ දී මිය ගිය එකසිය තිස්දෙනා පිළිබඳව සැලකිල්ලක් දක්වන අයට සත්‍ය දැනගැනීම පිළිබඳව ඇති අයිතිය සහ තේරුම් ගත නොහැකි තත්වයන් අවබෝධ කර ගැනීමට ඇති අවස්ථාව අහිමි විය හැකි බව නීතිඥ මේරි පැවසුවේය.

ප්‍රහාරයෙන් පසු පලා ගිය, සලා අබ්දෙස්ලාම් මාස හතරකට පසු පසුගිය මාර්තු මාසයේ බෙල්ජියමේ දී අත්අඩංගුවට පත්වූ අතර අප්‍රියෙල් මාසයේ ප්‍රංශයට භාරදීමෙන් පසු කිසිදු ප්‍රශ්ණ කිරීමකට පිළිතුරු දීමෙන් වැලකී සිටියි.

බීබීසී යෙන්