චීනය සහ බංග්ලාදේශය අතර ආර්ථික ගිවිසුම් මාලාවක්

  • 2016 ඔක්තෝබර් 14
Image caption චීන ජනාධිපතිවරයා බංග්ලාදේශයේ රැඳී සිටින පැය විසිහතරක කාලය තුළ ඩොලර් බිලියන විස්සකට වැඩි ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය

චීන ජනාධිපති ෂි ජින් පිං බංග්ලාදේශයේ සංචාරයක නිරතවී සිටියි.

වසර තිහකට පසු චීන නායකයෙකු බංග්ලාදේශයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

චීන නායකයා පිළිගැනීම පිණිස බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමීඩ් ගුවන් තොටුපළට පැමිණ සිටියේය.

බංග්ලාදේශ නිලධාරීන් පවසන්නේ, චීන ජනාධිපතිවරයා බංග්ලාදේශයේ රැඳී සිටින පැය විසිහතරක කාලය තුළ ඩොලර් බිලියන විස්සකට වැඩි ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවය.

ඒ මගින් යටිතල පහසුකම් නැංවීමේ අත්‍යාවශ්‍ය ව්‍යාපෘති ගණනාවකට මුල්‍ය පහසුකම් ලබාදෙනු ඇත.

චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඉපැරණි වෙළෙඳ මාර්ග යළි ස්ථාපනයකිරීම සඳහා වූ බෙයිජිං පාලනයේ අරමුණ ඉටුකර ගැනීමේදී බංග්ලාදේශය අත්හළ නොහැකි පාර්ශ්වකරුවකු බවය.

චීනය සමග සබඳතා වර්ධනය කරගැනීම සහ කළාපයේ තවත් බලගතු රාජ්‍යයක් වන ඉන්දියාව සමග හොඳහිත පවත්වාගෙන යාම බංග්ලාදේශය විසින් ඉතා ප්‍රවේශමෙන් තුලනය කරගනු ලබන බව විශ්ලේෂකයෝ පවසති.

BRICS සමුළුව

මේ අතර BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගෝවට පැමිණි බව වාර්තා වෙයි.

එම සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයන් ගෝවට පැමිණීම අද පටන් ආරම්භවීමට නියමිතය.

රටවල් එකොළහක නායකයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත BRICS දෙදින සමුළුව මෙවර පැවැත්වෙන්නේ අටවැනි වතාවටය.

එම සමුළුවේ අරමුණ වන්නේ සාමාජික රටවල් අතර යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීමය.

ඒ සමගම ඉන්දියාව BIMSTEC සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයන්ට ද ආරාධනාකර තිබේ.

බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය යන රටවල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත BIMSTEC සමුළුවට පකිස්තානය සහභාගී නොවන අතර එය තවත් SAARC සමුළුවක් ලෙසද සැලකෙයි.

ඇතැම් විශ්ලේෂකයන් ගේ අදහස වන්නේ ඉන්දියාවේ අරමුණ BIMSTEC සමුළුවට අයත් රටවල් සමග සමීප සබඳතා ගොඩනගා ගනිමින් පකිස්තානය හුදකලා කිරීමට බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්