මොල්ටාවේ දී ගිනිගත් යානයේ ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙක්

  • 2016 ඔක්තෝබර් 24
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
යානය කඩා වැටීමට ප්‍රථම කිසිදු පිපිරීමක් හෝ ගිනි ගැනීමක් ඇති නොවූ බව අනතුර ඇසින් දුටු පිරිස පවසති.

මොල්ටාවේ දී ගුවන් යානයක් කඩා වැටීමේ අනතුරකින් ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් තිදෙනකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත් වූ බව වාර්තා වෙයි.

මුර සංචාරයේ යෙදීමට භාවිතා කෙරෙන සැහැල්ලු යානය ගුවන් ගත වීමෙන් සුළු වෙලාවකට පසු කඩා වැටුණු අතර යානයේ සුන්බුන් ගිනි ගනිමින් තිබුණි.

අද (ඔක් 24) උදෑසන 7.20 ට මෝල්ටා ගුවන්තොටුපොළෙන් පිටත් වූ යානය මධ්‍යධරණී මුහුදු කලාපයේ මුර සංචාරයක නිරත වීමට නියමිතව තිබුණි.

Image copyright Reuters

යානය කඩා වැටීමට ප්‍රථම කිසිදු පිපිරීමක් හෝ ගිනි ගැනීමක් ඇති නොවූ බව අනතුර ඇසින් දුටු පුද්ගලයෝ පවසති.

මධ්‍යධරණී මුහුද හරහා නීති විරෝධීව සිදු කෙරෙන පුද්ගල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ අරමුණෙන් ප්‍රංශය විසින් දියත් කරනු ලැබූ මුර සංචාර ව්‍යාපෘතියට මෙම යානය අයත් බව මෝල්ටා බලධාරීහු ප්‍රකාශ කරති.

ගුවන් යානය අනතුරට ලක් වීමට බලපෑ හේතු සොයා බැලීම සඳහා ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.