දූෂිත චීන රාජ්‍ය නිලධාරීන් 'දසලක්ෂයකට' දඬුවම්

  • 2016 ඔක්තෝබර් 25
A man takes a selfie near a picture of Chinese President Xi Jinping on display at an exhibition on the Long March at the military museum in Beijing, Monday, 24 October 2016. Image copyright AP
Image caption චීන ජනාධිපති ෂී ජින්පින්

දූෂණ සහ අක්‍රමිකතාවලට සම්බන්ධ රාජ්‍ය බලධාරීන් දස ලක්ෂයකට අධික පිරිසකට පසුගිය තෙවසරක කාලය ඇතුළත දඬුවම් දී ඇති බව චීන ආණ්ඩුව පවසයි.

පහළ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සිට ඉහළ පෙළ අමාත්‍යවරු ද එම පිරිසට අයත් වෙති. මීට අමතරව චීනයේ ව්‍යාපාරිකයින් සහ මාධ්‍ය ආයතනවල සාමාජිකයින් ද දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දඬුවමට ලක්ව ඇත.

මේ වසර තුළ රටින් පළා ගිය තවත් නිලධාරීන් හාරසීය නව දෙනෙකු වෙනත් රටවල රඳවනු ලැබ සිටින බවත් චීන ආණ්ඩුව පවසයි.

අදාළ සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධියට පත් කෙරුණේ චීන කොම්යුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රහසිගත සමුළුව බීජිං නුවරදී ආරම්භ වීමත් සමගය.

ජනාධිපති ෂී ජින්පින්ගේ නායකත්වය යටතේ චීනය පුරා දූෂණ මැඩලීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය.

'දේශපාලන පළිගැනීම්'

කෙසේ නමුත් ඇතැම් නිරීක්ෂකයන් පවසන්නේ සිය ප්‍රතිවාදීන් දේශපාලන ක්ෂේත්‍රයෙන් අතුගා දැමීමට දූෂණ විරෝධී ව්‍යාපාරය යොදා ගත් බවට ජනාධිපතිවරයාට චෝදනා එල්ල වන බවය.

එම චෝදනා ජනාධිපති ෂී ජින්පින් ප්‍රතික්ෂේප කරයි.

කොමියුනිස්ට් පක්ෂය තුළ පවතින නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් ද රහසිගත සමුළුව තුළ සාකච්ඡා කෙරෙනු ඇති බව බීජිං නුවර සිටින බීබීසී වාර්තාකරු ස්ටීවන් මැක්ඩොනල්ඩ් පැවසීය.

වෙනස් විය යුතු යැයි අවධානයට ලක් වී ඇති ඇතැම් කරුණු මත ජනාධිපති ෂී ජින්පින්ට වැඩි බලතල හිමි විය හැකි බවට විශ්ලේෂකයන් අනතුරු හඟවන බවත් බීබීසී වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්