පිලිපීන ජනපතිට 'දෙවියන්ගෙන් අනතුරු ඇඟවීමක්'

  • 2016 ඔක්තෝබර් 28
Image copyright AFP

දෙවියන් තමන්ට අනතුරු ඇඟවීමක් කළ බැවින් මින් ඉදිරියට පරුෂ වචන භාවිත නොකරන බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දුතාර්තේ පවසයි.

සිය ජපාන සංචාරය නිමවා යළි පිලිපීනයට පැමිණි වහා ම දුතාර්තේ හෙලි කළේ, ගුවන් යානයේ ගමන් ගනිමින් සිටියදී දෙවියන් තමන්ට අවසන් අනතුරු ඇඟවීම කළ බව ය. "අසභ්‍ය වචන භාවිතය වහාම නවතාපන්. නැතිනම් මේ ගුවන් යානය අනතුරකට ලක්වේවි." යැයි ගුවන් තොටුපොලේදී මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපති දුතාර්තේ මීට පෙර අවස්ථා කිහිපයකදී අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, යුරෝපා සංගමය මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද පරුෂ වචනයෙන් බැන වැදිණ.

පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ජනාධිපති දුතාර්තේ මෙහෙයුමක් දියත්කර ඇති අතර එහිදී පොලිසිය සහ අනෙකුත් බුද්ධි අංශ විසින් නීතියට පටහැනිව මිනිසුන් ඝාතනය කරන බවට වාර්තාවේ.

ඒ හේතුවෙන් ලෝක නායකයින්ගේ විවේචනයට ලක්ව සිටින දුතාර්තේ එම නායකයින් හට පරුෂ වචනයෙන් බැණ වදින්නට විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර