ඉරාක් ෂියා සන්නද්ධ කණ්ඩායම් 'ටාල් අෆාර්' වටලති

  • 2016 ඔක්තෝබර් 29
Image copyright AFP/Getty Images
Image caption මෙම මෙහෙයුම් වල අරමුණ 'ටාල් අෆාර්' නගරයෙන් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් නෙරපාහැරීම බව ෂියා සන්නද්ධ කණ්ඩායම් පවසති.

ඉරාකයේ මෝසුල් නුවරට බටහිර දෙසින් පිහිටා ඇති 'ටාල් අෆාර්' නගරයේ බලය අල්ලාගෙන සිටින IS සටන් කණ්ඩායම් වලට එරෙහිව ෂියා සන්නද්ධ කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කොට තිබේ.

මෙම මෙහෙයුම් වල අරමුණ 'ටාල් අෆාර්' නගරයෙන් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් නෙරපාහැරීම සහ සිරියාවේ සිට මෝසුල් නුවර වෙත ජිහාඩිවාදීන් සිදු කරන අවි සැපයුම් සඳහා යොදාගනු ලබන මාර්ග අවහිර කිරීම බව ෂියා සන්නද්ධ හෂීඩ් ශබාබි කණ්ඩායම පවසයි.

2014 වසරේ 'ටාල් අෆාර්' නගරය ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් අල්ලා ගැනීමට පෙර එහි බහුතරය ෂියා මුස්ලිම් ජනතාව ජීවත් වූහ.

කෙසේ වෙතත් මෝසුල් සුන්නි මුස්ලිම් නගරයක් වශයෙන් හඳුන්වනු ලබන බැවින් ෂියා සන්නද්ධ කණ්ඩායම් මෝසුල් නගරය තුළට ඇතුළු වී සටන් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත.

ඉරාක් රජයේ හමුදා, ඇමරිකානු මිත්‍ර හමුදා වල ගුවන් සහය සහ කුර්දි සටන් කණ්ඩායම් වල පාබල සහය ඇතිව මෝසුල් නගරය නැවත අත්පත් කර ගැනීම සඳහා ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය සතියේයි.

'මිනිස් පලිහක්'

ප්‍රහාර හමුවේ මෝසුල් නගරය අවට දහසකට අධික සිවිල් ජනතාව ඉස්ලාම් රාජ්‍ය සටන් කරුවන් විසින් පැහැර ගෙන ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (ඔක් 28) ප්‍රකාශ කළේය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකා රවිනා ශාම්දාසානි කියා සිටියේ මෙම පිරිස් මිනිස් පලිහක් විදිහට යොදා ගැනීම සඳහා IS සංවිධානය විසින් පැහැරගෙන ඇති බවය.

සිය සංවිධානයට එක්වීම ප්‍රතික්‍ෂේප කල ඉරාක හිටපු ආරක්ෂක හමුදා නිලධාරීන් එකසිය අනු දෙනකු සහ සිවිල් වැසියන් හතළිස් දෙදෙනකු ජිහාඩි සටන්කරුවන් විසින් මරා දමා ඇති බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර