සවුදියේ මියගිය කාන්තාවගේ 'දේහය ගෙනැවිත් දෙන්න'

  • 2016 නොවැම්බර් 7
Image caption සුබ්‍රමනියම් පලණියන්ඩි කට්පගවල්ලි ඔක්තෝබර් 08 වෙනිදා ඔලයියා කාන්තා සුබසාධන රැඳවුම් මධ්‍යස්ථානයේදී මියගිය බව තානාපති කාර්යාලය තහවුරු කරයි

ගෘහ සේවිකාවක ලෙස සවුදි අරාබියට ගොස් සිටියදී මියගිය සිය මවගේ දේහය කඩිනමින් ගෙනැවිත් දෙන ලෙස එම කාන්තාවගේ දරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මස්කෙළිය පොලිසියට පැමිණිල්ලක් කළ අදාළ කාන්තාවගේ සොයුරා පැවසුවේ ඇයගේ මරණය සැක සහිත බැවින් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකරදෙන ලෙසය.

පියා විසින් හැරයන ලද එම පවුලේ සිටින අවුරුදු 9, 12 සහ 13 වයසේ පසුවන පිරිමි දරුවා සහ ගැහැණු දරුවන් දෙදෙනා ඔවුන්ගේ මිත්තණිය භාරයේ පසුවෙති.

විදේශ රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන් 2015 වසරේ ඔක්තෝබර් මස 12 වෙනිදා ගෘහ සේවිකාවක ලෙස සවුදි අරාබියට පිටත් ව ගිය තම සොයුරිය දිනපතා දුරකතනයෙන් තමා ඇමතූ බව කී පලණියන්ඩි පරමසිවම්, පසුගිය ඔක්තෝබර් මස 26 වෙනිදා අවසන් වරට ඇයගෙන් දුරකතන ඇමතුමක් ලද බව පැවසීය.

මුල් සේවා ස්ථානයෙන් ඉවත්ව වෙනත් නිවසක රැකියාවට ගිය ද එම නිවැසියන් නිතර පහර දෙමින්, ගිනියම් යකඩ කූරුවලින් තමාව පුළුස්සන බව ද එහි රැකියාව කළ නොහැකි බව ද ඇය දන්වා ඇත.

'බරපතල සැකයක්'

"මේ මාසේ පළමුවෙනිදා මුහුණු පොතේ මගේ මිය ගිය අක්කාගේ ජායාරූපයක් විස්තරයක් සමග පළකර තිබුණ. අක්කා මියගොස් ඇති බව මුලින්ම මම දැනගත්තේ මුහුණු පොතෙන්. ඒක දැකලා මම ඒජන්සියට කතා කරලා විස්තරය ඇසුවා. ඒ අය පැහැදිළි පිළිතුරක් දුන්නේ නෑ," ඔහු පැවසීය.

Image caption පියා විසින් හැරයන ලද එම පවුලේ අවුරුදු 9, 12 සහ 13 වයසේ පසුවන පිරිමි දරුවා සහ ගැහැණු දරුවන් දෙදෙනා ඔවුන්ගේ මිත්තණිය භාරයේ පසුවෙති

"මුහුණු පොතේ තිබුණ ටෙලිෆෝන් අංකයකට මම කතා කළා. ඒ අංකය අක්කා සේවය කළ නිවස අසළ සේවය කරන අක්කා කෙනෙක්. එයා කිව්වා අක්කා වැඩකරපු ගෙදර අය අක්කාට හොඳටම ගහලා කෑම්ප් එකට ගෙනත් දාලා කියලා. අක්කා දවස් දෙකක් කෑම කන්නේ නැතිව ඉඳලා තියන බවත් අක්කාට ඉන්ජෙක්ෂන් එකක් ගහලා මරලා තියන බවත් කීවා. අක්කා 31 වෙනිදා මරලා තියන බව කීවා. අක්කාට කරදරයක් වෙලා තියනවා කියලා මේ වන තෙක් අපිට කවුරුත් කතා කරලා කීවේවත් ලිපියකින් හෝ දැණුම්දීලා නෑ. අක්කා තමයි පවුලම ජීවත් කළේ. අක්කාගේ මහත්තයා අක්කයි ළමයි තුන්දෙනයි දාලා ගිහිල්ලා අවුරුදු එක හමාරක් වෙනවා. දැන් ඒ ළමයින්ට තාත්තයි අම්මයි දෙන්නම නෑ. අක්කාගේ මරණය ගැන අපිට බරපතල සැකයක් තියෙනවා. මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වලා අපිට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා රජයේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. අක්කාගේ මළ සිරුර හැකි ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙනත් දෙන්න කියා ඉල්ලා සිටිනවා," යැයි පලණියණ්ඩි පරමසිවම් වැඩිදුරටත් පැවසීය.

'සිර කඳවුරක් නොවේ'

මේ අතර සවුදි අරාබියේ ‍ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සුබ්‍රමනියම් පලණියන්ඩි කට්පගවල්ලි නමැති කාන්තාව ඔක්තෝබර් 08 වෙනිදා ඔලයියා කාන්තා සුබසාධන රැඳවුම් මධ්‍යස්ථානයේදී මියගිය බව තහවුරු කළේය. සැප්තැම්බර් 29 වෙනිදා ඇය එම රැඳවුම් මධ්‍යස්ථානය වෙත පැමිණ තිබිණ.

මානසික ව්‍යාකූලතාවක් සඳහා ඇය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද කියැවෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ කාන්තාවගේ මෘතදේහය King Saud රෝහලේ තැන්පත් කර ඇති බවය.

ඇයගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද එහි දැක්වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ, ඔලයියා කාන්තා සුබසාධන රැඳවුම් මධ්‍යස්ථානය යනු සිර කඳවුරක් නොවන අතර එය සෞදි රජයේ පාලනය යටතේ ඇති සුරක්ෂාගාරයක්වන අතර එහි රෑඳවියන්ට සියලු පහසුකම් සැපයෙන බවය.