ඉන්දීය මුදල් අර්බුදය: හුවමාරුවට තවත් සීමා

  • 2016 නොවැම්බර් 17
Image copyright AFP

අවලංගු කරන ලද රුපියල් පන්සියයේ සහ දහසේ නෝට්ටු වෙනුවට නව මුදල් නෝට්ටු ලබා ගැනීමට ඇති හැකියාව තවත් සීමා කිරීමට ඉන්දීය රජය පියවරගෙන තිබේ.

ඒ අනුව හෙට දිනයේ සිට අවලංගු මුදල් නෝට්ටු වෙනුවට ඉන්දීය වැසියෙකුට එක් දිනකදී බැංකුවකින් ලබාගත හැක්කේ රුපියල් දෙදහසක් දක්වා පමණි.

මින් පෙර එක් පුද්ගලයෙකුට දිනකට අවලංගු මුදල් නෝට්ටු වෙනුවට රුපියල් හාරදහසක් ලබාගත හැකිව තිබුණි.

කෙසේ වෙතත් ශීතකාලයේ බීජ වැපිරීමේ යෙදී සිටින ගොවීන්ට පමණක් පනවා ඇති සීමාවට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් හුවමාරු කිරීමේ අවස්ථාව සලසන බව රජය ප්‍රකාශ කොට ඇත.

Image copyright AFP

ඒ අතරම විවාහයක් වෙනුවෙන් සුදානම්වන පවුලකට ඉන්දියානු රුපියල් දෙලක්ෂ පනස් දහසක් දක්වා නව මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ අවස්ථාව සැලසීමට කටයුතු කරන බව රජයේ ප්‍රකාශයේ සඳහන්.

අවලංගු කරන ලද මුදල් නෝට්ටු වෙනුවට නව මුදල් ලබා ගන්නා සෑම පුද්ගලයෙකුගේම ඇඟිල්ලක මැකිය නොහැකි තීන්තවලින් ලකුණක් යෙදීමට පසුගියදා ඉන්දීය බලධාරීහු තීරණය කළහ.

අවලංගු මුදල් නෝට්ටු බැංකු හරහා මාරු කිරීමේ දී රජයේ සීමාව ඉක්මවා යාම වැලැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඔවුහු පවසති.

රුපියල් පන්සීයේ සහ දහසේ නෝට්ටු හදිසියේ අවලංගු කිරීම තුළින් නීති විරෝධී මුදල් සංචිත සහ බදු රැහැනින් මිදී සිටින පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට උත්සාහ කළත් මේ වන විට ඉන්දීය ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව සහ දිළිඳු පවුල් රජයේ පියවර සම්බන්ධයෙන් දැඩි කෝපයෙන් පසුවන බව වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර