දෙවැනි සුනාමියෙන් ෆුකුෂිමා 'ගැලවෙයි'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දෙවැනි සුනාමියෙන් ෆුකුෂිමා 'ගැලවෙයි'

  • 2016 නොවැම්බර් 22

ජපානයේ ෆුකුෂිමා පළාතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (නොවැ. 21) හටගත් භූමිකම්පාව 2011 වසරේදී එම ප්‍රදේශයේම හටගත් ප්‍රබල භුචලනයේ පසු කම්පනයක් බව එරට කාලගුණ විද්‍යායතනය පවසයි.

ඊයේ හටගත් එම භූකම්පනය මැග්නිටියුඩ් 6.9 ලෙස සටහන් කෙරිණි.

භූචලනය හේතුවෙන් ෆුකුෂිමා පළාතට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබීය.

මුලදී මීටර තුනක් පමණ මුහුදු රළ ඉහළ යාමක් අපේක්ෂා කෙරුන ද වෙරළට ඇදී ආ මුහුදු රළෙහි උස මීටරයකට තරමක් වැඩි විය.

කෙසේ වුවද අනතුරු ඇඟවීමට අනුව වෙරළ කලාපයේ දස දහස් ගණනක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත්ව ගිය අතර සුළු තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳවද වාර්තා වේ.

පළාතේ සුනාමි අනතුරුදායක තත්වය පහව ගොස් ඇති අතර සුළු දේපොළ හානි වාර්තා වී ඇත.

2011 වසරේදී හටගත් සුනාමි තත්වය හේතුවෙන් ෆුකුෂිමා පළාත දැඩි ව්‍යසනයකට ලක්වූ අතර ඊට බලපෑ භූචලනය මෑත ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවලින් එකකි.

එවර හටගත් සුනාමියට ගොදුරු වී පුද්ගලයෝ දහඅට දහසක් මිය ගියහ.

එහිදී ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට ද දැඩි හානි සිදු වූ අතර ඒ සම්බන්ධ පිළිසකර කටයුතු තවමත් ක්‍රියාත්මක වෙමින් පවති.

කෙසේ වෙතත් ඊයේ හටගත් ආපදා තත්වය හමුවේ බලාගාරයට හානි සිදු වූ බවක් පෙනෙන්නට නැතැයි බලධාරීහු පවසති.

සබැඳි විෂයයන්