මූල්‍ය අර්බුදය හමුවේ ඉන්දීය විපක්ෂයෙන් ජාතික විරෝධතා ව්‍යාපාරයක්

  • 2016 නොවැම්බර් 23
Image caption මෙවැනි ඉහල වටිනාකම් සහිත මුදල් නෝට්ටු අවලංගුකොට ඇත.

අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමස්ත මූල්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට එරෙහිව ලබන සඳුදා ජාතික විරෝධතා ව්‍යාපාරයක් දියත්කරන බව ඉන්දියානු විපක්‍ෂයට අයත් දේශපාලන පක්ෂ කියාසිටිති.

ඒ අතරවාරයේ විපක්‍ෂය දිල්ලි අගනුවර විරෝධතා පෙළපාලියක නිරතවූ බවක් ද වාර්තා වෙයි.

දැනට ව්‍යවහාර කෙරෙන රුපියල් පන්සීයේ සහ දහසේ මුදල් නෝට්ටු අවලංගු කෙරෙන බව අගමැති මෝඩි විසින් පසුගිය සතියේ නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව ඉන්දීය මූල්‍ය අංශය තුළ ව්‍යාකූල තත්වයක් උද්ගත විය.

අවලංගු කරන ලද මුදල් නෝට්ටු සඳහා ආදේශ කෙරෙන අලුත් මුදල් නෝට්ටුවල විශාල හිඟයක් ඇතිවීමත් සමඟ සමස්ත ඉන්දීය මූල්‍ය වෙළෙඳපොල සහමුලින්ම අක්‍රිය මට්ටමකට පත්ව ඇත.

එම තත්වය සම්බන්ධයෙන් විරෝධය පෑම සඳහා විපක්ෂය පාර්ලිමේන්තුවේ කටයුතුවලට අවහිර කිරීමට පටන්ගත් අතර මේවනවිට එම විරෝධතා ව්‍යාපාරය පස්වෙනි දිනයට පැමිණ ඇත.

Image caption අලුත් මුදල් නෝට්ටු ලබාගැනීමේ පෝලිමක්.

ඉන්දීය ආණ්ඩුවේ ඇමතිවරයකු වන වෙන්කයියා නායිදු ප්‍රකාශයක් කරමින්, විපක්ෂය මහජන මතය වැරදි ආකාරයට තේරුම්ගෙන ඇතිබව කියාසිටියේය.

ඉහළ වටිනාකම් සහිත පැරණි මුදල් නෝට්ටු අවලංගු කරමින් නව මුදල් නෝට්ටු නිකුත්කරනු ලබන්නේ දූෂණ මැඩලීමේ පියවරක් හැටියට බවත් වෙන්කයියා නායිදු ඇමතිවරයා පවසයි.