විස්කෝතු පෙට්ටියෙන් බිළිඳෙක් 'මිල ඩොලර් 1500'

  • 2016 නොවැම්බර් 24
Image copyright AFP

විස්කෝතු පෙට්ටි තුළ සඟවා බිළිඳුන් ජාවාරම් කිරීමේ යෙදුණු බවට සැක පිට පුද්ගලයන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ඉන්දියානු පොලිසිය පවසයි.

පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ බටහිර බෙන්ගාල ප්‍රාන්තයේ පෞද්ගලික සාත්තු නිවාසයක් වැටලීමක දී අලුත උපන් බිළිඳුන් විකිණීමේ මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිදරව් වූ බවය.

ගබ්සා සැත්කමකට භාජනය වීම සඳහා සාත්තු නිවාසයට පැමිණෙන කාන්තාවන්ට මුදල් ලබා දෙමින් දරුවා ප්‍රසූත කිරීමට එකඟකර ගන්නා මෙම ජාවාරම් කරුවන් පසුව බිළිඳා විකිණීමට කටයුතු කරන බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

පුරා වසර දෙකක්

ඒ අනුව ජාවාරම්කරුවන් විසින් ගැහැණු දරුවකු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් එක්දහස් පන්සියයක මුදලක් සහ පිරිමි දරුවකු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් එක්දහස් හාරසීයක මුදලක් මව්වරුන්ට ගෙවනු ලැබ ඇත.

පුරා වසර දෙකක් මුළුල්ලේ ක්‍රියාත්මක වී ඇති මෙම ජාවාරම හරහා බිළිඳුන් විශාල ප්‍රමාණයක් විස්කෝතු පෙට්ටි තුළ සඟවා සාත්තු නිවාසයේ සිට අසල පිහිටි අනාථ නිවාසයක් වෙත ගෙනගොස් එහිදී දරුවන් නොමැති පවුල් වලට විකිණීම සිදු කර තිබේ.

එසේ විකුණනු ලැබූ ඇතැම් බිළිඳුන් මේ වන විට බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ ජීවත් වන පවුල් වල හැදී වැඩෙන බව පොලිසිය පවසයි.