මහ ඇමති නිවසේ 'වෙඩි නොවදින නානකාමර'

  • 2016 නොවැම්බර් 26
Pragathi Bhavan Image copyright K Chandrashekhar Rao
Image caption වෙඩි නොවදින නාන කාමර සහ ජනෙල් වීදුරු සහිත මහ ඇමති නිවස

දකුණු ඉන්දීය තෙලංගානා ප්‍රාන්ත මහ ඇමති නව නිවාසයකට පිවිසීම ප්‍රාන්තවාසීන්ගේ අප්‍රසාදයට තුඩු දෙන කරුණක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

මහ ඇමති කේ. චන්ද්‍රෙසේකර් රාඹ් ගේ නිවස අමෙරිකානු ඩොලර් ලක්ෂ 73 ක බරක් බදු ගෙවන්නන් මත පටවා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි නොවදින නාන කාමර, 250 දෙනෙකුට අසුන්ගත හැකි සිනමාහලක් මෙන් ම 500 දෙනෙකුට සෑහෙන රැස්වීම් ශාලාවක් ද එම නිවසේ අංගෝපාංග අතරට අයත් වේ.

මහ ඇමතිවරයාගේ සුවිශේෂ පූජකයා විසින් නව නිවස ආශීර්වාද ගන්වා ඇති අතර ඔහුගේ වෙඩි නොවදින නානකාමර බොහෝ දෙනාගේ සමච්චලයට ලක්වී ඇති බව ඒ සම්බන්ධයෙන් සමාජ ජාල හරහා පැතිර යන පණිවිඩවලින් පෙන්නුම් කෙරේ.

එක් ට්විටර් පණිවිඩයක දැක්වුණේ, "වෙඩි නොවදින නානකාමර? කවුරු කුමක් ඉලක්ක කරන්නේද යන්නයි මා සිතන්නේ." යනුවෙනි.

Image copyright Mohhamed Aleem
Image caption නව නිවසේ ආගමික චාරිත්‍ර ඉටු කරන හින්දු පූජකවරුන්

තවත් ට්විටර් පණිවිඩයකින් මහ ඇමතිවරයාගෙන් විමසා තිබුණේ, "දයාබර කේසීආර්, නානකාමර ජලය කාන්දුවීමෙනුයි වැළැක්විය යුත්තේ, වෙඩි වැදීමකින් නොවෙයි. ඔබ කවදාකවත් නාන කාමරයෙන් පිටතට එන්නේ නැතිද ?" යනුවෙනි.

"මේ මනුස්සයාට නාන කාමරයේදීවත් සාමකාමීබව ලබන්නට බැහැ." යැයි තවත් ට්විටර් පණිවිඩයක දැක්විණි.

පැරණි හින්දු සම්ප්‍රයික වාස්තු පිළිබඳ දැඩිව විශ්වාස කරන්නෙකුවන මහ ඇමති රාඕ 'ප්‍රගති භවන්' ලෙස නම්කොට ඇති සිය නව නිවස ඉදිකිරීමේදී වාස්තු විශේෂඥයින්ගේ දැඩි උපදෙස් පිළිපදිනු ලැබීය.

ප්‍රාන්ත මහලේකම් කාර්යාල සංකීර්ණයේ වාස්තු ස්වභාවය ප්‍රාන්තයට අසුබ යැයි පවසමින් එය කඩා බිඳ දැමීමට චන්ද්‍රසේකර් රාඕ දැරූ උත්සාහය පිළිබඳ පුවත් පළවිය.

Image copyright K Chandrashekhar Rao

ජ්‍යෙෂ්ඨ දේශපාලන විචාරකයකු හා ගත්කතුවරයකුවන කිංසුක් නාග් බීබීසී සමග පැවසුවේ, මහ ඇමතිවරයාගේ නව නිවස ඔහු සතු 'වැඩවසම්' මානසිකත්වය පෙන්නුම් කරන බවය.

"ඈත කාලයේදී වැඩවසම් රදලයකුට, ඔහුගේ නිවස මෙන් ම කාර්යාලය ද සහිතව බලකොටුවක් ඇති විට ඔහුට යටත් ප්‍රදේශවාසීන් 'ආහ්... මොනතරම් විශාල මාලිගාවක් ද.' කීවා." යැයි පැවසූ නාග්, නිවාසයේ ප්‍රමාණය සාධාරණය කිරීමට ආරක්ෂාව සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමේ තේරුමක් නැතැයි පෙන්වා දුන්නේය.

තෙලංගානා මහ ඇමතිවරයා පිළිබඳ මේ තොරතුරු වාර්තා වූයේ තවත් ඉන්දිය දේශපාලනඥයකු සිය දියණියගේ විවාහ මංගල්‍යය අති දැවැන්ත ලෙස පැවැත්වීම හරහා, මුදල් අර්බුදයකට මුහුණ දී සිටින ඉන්දියානුවන්ගේ කෝපයට ලක්වී සති කිහිපයක් ගෙවී යද්දීය.

වසර ගණනාවක සිට ගෙනයන ලද වෙනම ප්‍රාන්තයක් බවට පත්වීමේ ව්‍යාපාරයක ප්‍රථිඵලයක් ලෙස, තෙළුගු බස කතාකරන බහුතර ජනයාගෙන් සමන්විත තෙලංගානා භූමි ප්‍රදේශයට 2014 වසරේදී ඉන්දියාවේ ප්‍රාන්තයක තත්ත්වය පිරිනැමිණි.

සබැඳි විෂයයන්