'අරාබි කාන්තාවන්ට ආත්මාරක්ෂක සටන්පුහුණුවක්'

  • 2016 නොවැම්බර් 30
Image caption ආත්මාරක්ෂක සටන් කලාව පාසල් විෂය මාලාවට ඇතුලත් කළ යුතු බවයි ඇය පවසන්නේ

පුරුෂයන්ගෙන් එල්ල වන අතවර සහ තර්ජනවලින් බේරීම පිණිස අරාබි ලෝකයේ පමණක් නොව ලොව ඕනෑම රටක වෙසෙන කාන්තාවට පුහුණුවක් ලබා දිය යුතුද?

මේ ඒ ගැන අරාබි තරුණියකගේ මතය.

ලෙබනන ජාතික ජුමානා හඩාඩ් ගත් කතුවරියක්.

සුපර්වුමන් ග්‍රන්ථය අරාබි භාෂාවෙන් ලියා පල කළ ඇය පවසන පරිදි සිය දෛනික ජීවිතයේ කුඩා වෙනසකින් පවා පුරුෂයන් පමණක් නොව කාන්තාවන්ගේ ද සිතුම් පැතුම්වල ප්‍රබල වෙනසක් සිදු කළ හැකියි.

දැනුම සීමිතයි

"ලෙබනනයේ තරුණියෝ සින්ඩරෙල්ලා ගැන දන්නවා. නැත්නම් එයාල තොල් සායම් ගැන දන්නවා. ඒත් අනතුරකදි ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක ගැන එයාලගේ දැනුම හරිම සීමිතයි. තමන්ට තමන්ම ආරක්ෂා කරගන්න පුළුවන් කියන එක අපි එයාලට කියල දෙන්න ඕනේ."

ලොව ලිංගික කර්මාන්තය සහ කම්කරු මෙහෙය වෙනුවෙන් වැඩිපුරම ප්‍රවාහනය කෙරෙන්නේ කාන්තාවන්.

ලෝක ව්‍යාප්ත මිනිස් ජාවාරමට වැඩිපුරම ගොදුරු වන්නෝත් ඔවුන්.

මේ තත්වය යටතේ ආත්මාරක්ෂක සටන් කලාව පුහුණුවීමේ වැදගත්කම ලොව පුරා තරුණියන්ට වටහා දීමේ අවශ්‍යතාවය ජුමානා හඩාඩ් අවධාරණය කරන්නීය.

"ඉතින් මම කියන්නේ ආත්මාරක්ෂක සටන් කලාව පාසල් විෂය මාලාවට ඇතුලත් කළ යුතුයි. ඒ කියන්නේ දැරිවියන් වෙනුවෙන්. අවුරු පහේ ඉඳල. මුළු ලෝකේ හැම පාසලකම. විශේෂයෙන්ම අරාබියේ රටවල."

එය කිසිසේත්ම දුෂ්කර කටයුත්තක් නොවන බවත් ගත් කතුවරිය පෙන්වා දෙයි.

ආකල්පමය වෙනසක්

"ඒක හරිම පහසු දෙයක්. ඒකට අවශ්‍ය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයක් විතරයි. හැම සතියකම පැයක් ආත්මාරක්ෂාව පුහුණු වෙන පන්තියක්. පාසලේදීම."

එමෙන්ම සෑම කාන්තාවන් තිදෙනකුගෙන්ම එක් අයෙක්, සිය සැමියා හෝ පෙම්වතා අතින් අතවරයට ලක් වෙති.

කාන්තාවන් මේ තත්වයෙන් මුදවා ගැනීම පිණිස ආත්මාරක්ෂාව පුහුණුවීම මෙන්ම කාන්තාව තුළම ආකල්පමය වෙනසක් ඇති විය යුතු බවත් ජුමානා හඩාඩ් ගේ අදහසයි.

"මේක දැරියන්ට ආත්මාරක්ෂාව උගන්වනවාට වඩා පුළුල් ක්‍රියාදාමයක්. ඒ මගින් ඔවුන් ඔවුන් ගැනම සිතන පතන විදියේ වෙනසක් කෙරෙනවා. අනික එතකොට පුරුෂයන් ඔවුන් ගැන සිතන විදියත් වෙනස් වෙනවා. තරුණියන්ට එමගින් ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා. ඒ වගේම සමාජයේ කාන්තා පුරුෂ සම්බන්ධතාවය එමගින් පූර්ණ වෙනසකට භාජනය වෙනවා."

ආත්මාරක්ෂක සටන් ක්‍රම උගන්වන පන්තියකට ගොඩ වැදුණු කතුවරිය, සිය ආරක්ෂාව සලසා ගැනීමට හැකි තරුණියක දෙස බලන්නේ කෙසේ දැයි පුහුණුකරුගෙන් විමසීය.

"පූර්ණ ගෞරවයක්" යන්නයි, ඒ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ.

අන්තයට යාමත් නෙවෙයි

කෙසේ නමුත් සිය අදහස වැරදි ආකාරයෙන් වටහා නොගන්නැයි කතුවරිය විශේෂ ඉල්ලීමක්ද කරන්නීය.

"මම මේ කියන්නේ කාන්තාවෝ පුරුෂයන්ට පැහැර දිය යුතුයි කියල නෙවෙයි. මේක පලිගැනීමකුත් නෙවෙයි. එක අන්තයක ඉඳල අනෙක් අන්තයට යාමත් නෙවෙයි. කාන්තාව ගැන සමාජය තුළ ආකල්පමය වෙනසක් කිරීම ගැනයි මම මේ කියන්නේ. ළමා වියේදී පොඩි දරුවෝ දැරියන්ට හිරිහැර කිරීමේ ඉඳල අනාගතේදී තරුණියන්ට අතවර කරන්න බලාපොරොත්තු වෙන පුරුෂයන් එයින් වැළැක්වීමයි මේකේ අරමුණ."

('ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි' වැඩසටහන වෙනුවෙන්)