ඉන්දුනීසියාවේ ගුවන් අනතුරින් දහතුන් දෙනෙක් මරුට

  • 2016 දෙසැම්බර් 18
Image copyright AFP
Image caption යානය කඩා වැටුණේ පැපුවා ප්‍රාන්තයේ කඳුකර පෙදෙසකට

ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් යානයේ සිටි සියලු දෙනා මරණයට පත්විය.

පැපුවා ප්‍රාන්තයේ කඳුකර පෙදෙසකට කඩා වැටුණු මෙම යානය ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත්වන අතර එහි සිටි නියමුවන් තිදෙනා සහ තවත් හමුදා නිලධාරීන් දස දෙනකු මිය ගිය බව බලධාරීහු පවසති.

මෙම අනතුරට හේතුව අයහපත් කාලගුණය විය හැකි බව ඉන්දුනීසියානු ගුවන් හමුදාපතිවරයා පැවසීය.

Image copyright AFP
Image caption අනතුරට හේතුව සොයා පරීක්‍ෂණ

ඉන්දුනීසියානු වේලාවෙන් අද (දෙසැ. 18) අලුයම 05:35ට ටිමිකා නගරයෙන් මෙම යානය ගුවන්ගත කළ අතර උදෑසන 06:13ට ගමනාන්තය වන වමිනා වෙත ළඟාවීමට නියමිතව තිබුණි.

මෑත කාලයේ ඉන්දුනීසියාවෙන් ගුවන් අනතුරු කීපයක්ම වාර්තා වුණු අතර පසුගිය වසරේ ජුනි මාසයේදී ද එරට ගුවන් හමුදාවට අයත් යානයක් නිවාස බහුල ප්‍රදේශයකට කඩා වැටුණි.

එම අනතුරින් දොළොස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සහ 109 දෙනෙකුගෙන් යුත් මගී පිරිස මිය ගිය අතර යානය කඩාවැටුණු ප්‍රදේශයේ පදිංචිකරුවෝ විසිදෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූහ.