සැම්බියාවේත් ඔසප් නිවාඩුවක්

Image caption දෙකෙලා මසිම්බා සෑම මාසයකම 'මවගේ දිනය' නම් වූ මෙම නිවාඩුව ලබාගන්නා අයෙකි

සැම්බියාවේ රැකියා කරන කාන්තාවන්ට මාසයකට එක් වතාවක් තමන් කැමති දිනක නිවාඩුවක් ලබා ගැනීමේ අයිතිය නීති මගින් හිමිකරදී තිබේ.

එම දිනය 'මවගේ දිනය' නමින් හඳුන්වයි.

සැම්බියාවේ රැකියාකරන සියළුම කාන්තාවන්ට ලබා ගැනීමේ අයිතිය ඇති මෙම නිවාඩුව ඔසප් නිවාඩුව නමින් හඳුන්වා නැත්තේ ඔසප් යන වචනය ප්‍රසිද්ධියේ පැවසීම එරට සංස්කෘතියට අනුව නුසුදුසු දෙයක් ලෙස සැලකෙන නිසා බව විශ්වාස කෙරේ.

මවගේ දිනය යනුවෙන් හැඳින්වූවද දරුවන් ඇති සහ නැති සියළුම කාන්තාවන්ට සෑම මසකම එක දිනක් මේ ආකාරයට නිවාඩු ලබා ගැනීමේ අවකාශ ලැබේ.

කම්කරු නීතියට අනුව කාන්තාවක් 'මවගේ දිනය' සඳහා නිවාඩුවක් ලබාගැනීමේ දී වෛද්‍ය සහතිකයක් ඉදිරිපත්කල යුතු නොවේ.

විවාහවී නැති, එමෙන්ම දරුවන් නැති කාන්තාවක් වන දෙකෙලා මසිම්බා සෑම මාසයකම 'මවගේ දිනය' නම් වූ මෙම නිවාඩුව ලබාගන්නා අයෙකි.

මහජන සම්බන්ධතා නිලධාරිනියක් ලෙස සේවය කරන ඇය පවසන්නේ ඔසප්වීම ආරම්භ වීමත් සමග ඇය දැඩි වේදනාවකින් පෙලෙන බවය.

"මම හිතන්නෙ මේ නීතිය හරිම හොඳයි. මොකද ඔසප් කාලයේදී කාන්තාවන් ඉතා දුෂ්කර දින කිහිපයක් ගත කරනව. ඔසප්වීම ආරම්භ වන පළමුවැනි දවසේ උදරය ඇතුලෙන් දරාගන්න බැරි තරම් වේදනාවක් දැනෙනව. වේදනා නාශක පෙති ගත්තත් දවසම ගත කරන්න වෙන්නෙ ඇඳක. සමහරුන්ට ඔසප්වීම ආරම්භවෙන්න කලින් වේදනාව දැනිල ඉතිරි දින දෙක හෝ තුන තුළ වේදනාවකින් තොරව ගෙවිලා යනව" යනුවෙන් ඇය පැවසුවාය.

Image caption වෙළඳ ක්ෂේත්‍රයේ පුර්ණකාලීන රැකියාවක් කරන මුටින්ටා චිකොපෙලා 'මවගේ දින' නිවාඩුව ලබා නොගනී

සැම්බියාවේ කාන්තාවන්ට රැකියාවෙන් නිවාඩු ගැනීම සඳහා කලින් දැනුම්දීම අත්‍යාවශ්‍ය නොවේ.

අදාළ දිනයේ උදෑසන දුරකථන ඇමතුමක් දී තමන් 'මවගේ දිනය' සඳහාවූ ලබාගන්නා බව දැනුම්දීම ප්‍රමාණවත්වේ.

එසේම එම නිවාඩුව අනුමත නොකරන සේවාදායකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමේ හැකියාවද පවතී.

මසිම්බා ගේ සේවා ආයතනයේ ප්‍රධානියා වන ජස්ටින් මුකොසා මේ නීතියට ගරු කරන අතර වෘත්තියක නිරතවන කාන්තාවන් මුහුණ දෙන ගැටළු සහ ඔවුන් සතු වගකීම් පිලිබඳ තමාට අවබෝධයක් ඇති බව පවසයි.

කෙසේවුවද ඇතැම් අය මෙම නිවාඩුව වැරදි ආකාරයට භාවිතා කරන බවටද අදහස් පළවේ.

ඇතැම්විට පෞද්ගලික චාරිකාවක් යාමට අවශ්‍යවූ විට ඉතා කෙටි දැනුම් දීමකින් 'මවගේ දින' නිවාඩුව ලබාගන්නා කාන්තාවන්ද සිටිති.

මුටින්ටා චිකොපෙලා යනු දරුවන් තිදෙනෙක් ඇති විවාහක කාන්තාවකි. වෙළඳ ක්ෂේත්‍රයේ පුර්ණකාලීන රැකියාවක් කරන ඇය 'මවගේ දින' නිවාඩුව ලබා නොගනී.

මෙම නිවාඩුව හේතුවෙන් වැඩකරන කාන්තාවන් කම්මැලි භාවයට පත්වන බව ඇය පවසන්නීය.

'මවගේ දින' නීතිය වඩා පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බව ඇය සිතයි.

Image caption මසිම්බාගේ සේවා ආයතනයේ ප්‍රධානියා වන ජස්ටින් මුකොසා 'මවගේ දින' නිවාඩුව අනුමත කරයි

"මම හිතන්නෙ කාන්තාවන් මේකෙන් වැරදි ප්‍රයෝජන ගන්නව. විශේෂයෙන් කෙනෙක් ඔසප්වීමට ලක්වෙලා ඉන්නවද නැද්ද කියල දැනගන්න ක්‍රමයක් නැහැ.ප්‍රශ්ණය වෙන්නෙ. සැම්බියාවේ ඕනෑවටත් වඩා නිවාඩු දින තියනව. උදාහරණයක් විදියට යාඥා කරන්නන්ගේ දිනය වගේ ඒවා. මම හිතන්නෙ මවගේ දින නිවාඩුවෙන් සතුටුවෙන්නේ විනෝද ගමන් යන අය" යනුවෙන් ඇය පවසන්නීය.

සැම්බියාවේ වෘත්තීය සමිති සම්මේලනයද 'මවගේ දින' නිවාඩුව එසේ නැති නම් 'ඔසප් නිවාඩුව' පිලිබඳ නීතියට සහයෝගය දක්වයි.

එම ආයතනයේ උපදේශිකාවක් වන කැතරින් චිනුන්දා පවසන්නේ එම නිවාඩු දිනයේදී වෙනත් ගමන් යාම හෝ අවම වශයෙන් දෛනික බඩු මිලදී ගැනීමේ අවශ්‍යතා සඳහා වෙළඳපලට යෑමවත් නොකළ යුතුයි බවය.

මේ සඳහා කාන්තාවන් දැනුවත් කිරීම ඇය සිදුකරමින් සිටින්නීය.

මවගේ දින නිවාඩුව හේතුවෙන් ඇතිවන දුෂ්කරතා පිළිබඳවද ඇතැම් පිරිස් අදහස් දක්වති.

සැම්බියාවේ සේවාදායකයන්ගේ සංවිධානයේ ප්‍රධානියාවන හැරින්ටන් චිබන්ඩා පවසන්නේ යම් සමාගමක එකම දිනයක සේවිකාවන් හය හත් දෙනෙකු හදිසියේ සේවයට නොපාමිනුනහොත් එම සමාගමේ පාලකයින් මුහුණ දෙන තත්වය ගැනද සිතිය යුතු බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර