විනිසුරු වීරමන්ත්‍රී 'අද්විතීය සේවයක් කළා'

විනිසුරු වීරමන්ත්‍රී
Image caption "ශ්‍රී ලංකාවේ කිසිම නීතිඥවරයෙක්ගෙන් නොවෙච්ච සේවාවක්, කැපවීමක් සහ උද්දීපනය කරලා දැක්වීමක් එතුමා විසින් කරලා තියෙනවා"

ජාත්‍යන්තර කීර්තියට පත් CG වීරමන්ත්‍රී විශ්‍රාමික විනිසුරුවරයා ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයට අද්විතීය සේවයක් කළ දැවැන්තයකු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ උපුල් ජයසූරිය පවසයි.

"ශ්‍රී ලංකාවේ කිසිම නීතිඥවරයෙක්ගෙන් නොවෙච්ච සේවාවක්, කැපවීමක් සහ උද්දීපනය කරලා දැක්වීමක් එතුමා විසින් කරලා තියෙනවා," ඔහු පැවසීය.

නීති විශාරද වීරමන්ත්‍රී විනිසුරුවරයා සිය 90 වැනි වියේ දී දිවියෙන් සමුගත්තේය.

ඉතාමත් ආදර්ශමත් සහ 'පුදුම සහගත' චරිතයක් සහිත වීරමන්ත්‍රී විනිසුරුවරයා, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසකරුවකු ලෙසින් පත්වීම් ලබන විට තිස් පස් වැනි වියේ පසු වූ තරුණයකු බව නීතිඥ උපුල් ජයසූරිය පෙන්වාදෙයි.

නීතිය සහ බුදු දහම

ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක මහාචාර්ය පදවියකින් අරඹා ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙසින් කීර්තියක් දිනාගත් ආකාරයද ඔහු සිහිපත් කරයි.

"ලෝකයේ නොයෙක් නීති සම්මන්ත්‍රණවල ප්‍රමුඛ පෙළේ කතිකයෙක් වුනා. ඒ පර්ය්ෂණ කරලා එතුමා ලෝක අධිකරණයට පත්වුනා. පසු කලෙක එතුමා එහි සභාපති ධුරය හෙබවූවා."

ශ්‍රී ලාංකිකයකු ලෝක අධිකරණයේ සාමාජිකත්වයට පත්වීමම ශ්‍රී ලංකාව ලැබූ ගෞරවයක් බවයි නීතිවේදී උපුල් ජයසූරිය පවසන්නේ.

නීතිඥයන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලුම ක්ෂේත්‍රවල පුද්ගලයන්ට නින්තරයෙන්ම 'අලුතෙන් සිතන්නට දෙයක්' ඉදිරිපත් කළ ජාත්‍යන්තර කීර්තිධර නීතිවිශාරදයා කතෝලික භක්තිකයකු වුවත් බෞද්ධ දර්ශනය පිළිබඳව පවා පර්යේෂණ කළ බවත් නීතිඥ ජයසූරිය සිහිපත් කරයි.

විනිසුරුවන්ගේ භූමිකාව

"විශේෂයෙන්ම එතුමා තමයි නීතියත් බුද්ධ ධර්මයත් සම්බන්ධ කරල, නීතියේ පරිනාමය සහ බුද්ධ ධර්මයේ විකාශය ගැන පර්යේෂණ එතුමා ජනතාවට ඉදිරිපත් කළා."

එමෙන්ම විනිශ්චයකරුවකුගේ භූමිකාව පිළිබඳව වීරමන්ත්‍රී විනිසුරුවරයා සමස්ත සමාජයටම ආදර්ශයක් දුන් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා සඳහන් කරයි.

"එතුමා දීපු ආදර්ශය තමයි, දේශපාලකයන්ගෙන් ඈත්වෙලා, විනිශ්චයකාරවරු තමන්ගේ විනිශ්චය නිර්භයව, අපක්ෂපාතීව, සාධාරණව කළ යුතු බව."

එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමෙන් වැළකිය යුතු බව වීරමන්ත්‍රී විනිසුරුවරයා දේශපාලනඥයන්ට ලබා දුන් පණිවුඩය බවත් නීතිඥ ජයසූරිය වැඩිදුරටත් පැවසීය.

බීබීසී යෙන්