මූන්ගේ ඥාතීන්ටත් අල්ලස් චෝදනා

  • 2017 ජනවාරි 11
Ban Ki-moon Image copyright Getty Images
Image caption බැන්කි මූන් 2007 වසරේ සිට 2016 වසර දක්වා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයේ කටයුතු කළේය

රාජ්‍ය නිලධාරියකුට අල්ලස් දීමට කුමන්ත්‍රණය කළ බවට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැන්කි මූන්ගේ ඥාතීන් දෙදෙනෙකුට එරෙහිව ඇමරිකාවේ නීතිඥයෝ චෝදනා එල්ල කළහ.

ඇමරිකානු ජාතික අතරමැදියෙකු හරහා මැදපෙරදිග නිලධාරියකුට මුදල් දුන් බවට එසේ චෝදනා එල්ල වූයේ බැන්කි මූන්ගේ බාල සොහොයුරාට සහ ඥාති පුත්‍රයෙකුට ය.

රජයේ අරමුදල් භාවිත කොට ගොඩනැගිලි ව්‍යාපෘතියක් මිලදී ගැනීම සඳහා අදාළ බලධාරියාට බැන්කි මූන්ගේ ඥාතීන් දෙදෙනා අල්ලස් දී ඇති බවට නීතිඥයෝ චෝදනා කරති.

බැන්කි මූන් 2007 වසරේ සිට 2016 වසර දක්වා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයේ කටයුතු කළේය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වශයෙන් පෘතුගාලයේ හිටපු අගමැති අන්තෝනියෝ ගුටේරස් 2017 වසරේ ජනවාරි 01 වැනිදා අලුතින් පත් විය.

බැන්කි මූන් සිය උපන් රට වූ දකුණු කොරියාවේ ජනාධිපති ධුරය සඳහා තරග කරනු ඇති බවට ඉඟි පළ වී තිබේ.

සිය ඥාතීන්ට එරෙහිව එල්ලවන චෝදනාවල වපසරිය සම්බන්ධයෙන් බැන්කි මුන් කරුණු නොදැන සිටි බව ඔහුගේ ප්‍රකාශකයකු පැවසී යැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර