රුසියානු ආරක්ෂක විශේෂඥයන්ට රාජද්‍රෝහී චෝදනා

  • 2017 පෙබරවාරි 1
Image caption රුසියානු FSB බුද්ධි අංශය

රුසියාවේ FSB බුද්ධි අංශයේ හිටපු සයිබර් ආරක්ෂක විශේෂඥයන් දෙදෙනකුට සහ මෘදුකාංග ව්‍යාපාරයක නිරත තවත් තැනැත්තකුට එරෙහිව රාජද්‍රෝහී චෝදනා යටතේ නඩු පවරා ඇතිබව නීතිවේදියෙකු පවසයි.

FSB හි සයිබර් ආරක්ෂක අංශයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියාවන සෙර්ගේයි මිහයිලොෆ් මෙන්ම දිමිත්‍රි දකුචායෙෆ් සහ 'කස්පර්ස්කි' මෘදුකාංග ව්‍යාපාරයේ වයිරස් මැඩලීමේ අංශයේ විධායක නිලධාරී රුස්ලාන් ස්තයානොෆ් යන තිදෙනා ඇමෙරිකානු අභිලාෂයන් වෙනුවෙන් ක්‍රියාකර ඇති බවට චෝදනා ලැබුහ.

එම අත්අඩංගුවට ගැනීම් පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදු වී යයි පැවසෙන රුසියානු 'හැක්'කිරීම් අතර සම්බන්ධයක් පවතින බව ඇතැම් වාර්තාවල දැක්වේ.

එක් චුදිතයකු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියකුවන ඉවාන් පාවෙල් අනෙකුත් චුදිතයින්ගේ නම් හෙලිදරව්කොට තිබේ.

FSB බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියාවන සෙර්ගේයි මිහයිලොෆ් අසාමාන්‍ය ආකාරයේ අත්අඩංගුවට ගැනීමකට ලක් වූ බව පවසන රුසියානු මාධ්‍ය වාර්තා, රැස්වීමකට සහභාගී වෙමින් සිටි ඔහුගේ හිසමත බෑගයක් තබා ඔහු ඉන් ඉවතට ගෙනගොස් ඇති බව සඳහන් කරයි.

ඔවුන්ට එරෙහි රාජද්‍රෝහී චෝදනා සහ එම චෝදනාවලට අදාළ සවිස්තරාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කර නොමැත.

Image caption FSB මූලස්ථානය

ඇමෙරිකානු ප්‍රාන්ත දෙකක ඡන්දය දීමේ ක්‍රමවේද 'හැක්'කිරීමට මැදිහත් වූ බවට චෝදනා ලබන රුසියානු සමාගමකට සම්බන්ධ අත්අඩංගුවට ගැනීමක් ඇතුළු තවත් තොරතුරු සිය අනන්‍යතාව සඳහන් නොකරන ආරංචි මාර්ග මගින් අගනුවර අවට ප්‍රචාරය කරමින් ඇති බව මොස්කව් නගරයේ සිටින BBC මාධ්‍යවේදිනී සාරා රේන්ස්ෆර්ඩ් පවසන්නීය.

ඉහත කී අත්අඩංගුවට ගැනීම් සහ ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ සිදු කොට ඇතැයි පැවසෙන 'හැක්' කිරීම් අතර සම්බන්ධයක් නොමැති බව ජනාධිපති පූතින්ගේ ප්‍රකාශක දිමිත්‍රි ෆෙස්කොෆ් පවසයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේ කිසිදු 'හැක්' කිරීමකට තමන් සම්බන්ධ නැති බව රුසියාව දිගින් දිගටම කියා සිටී.

මේ අතර වෙනත් වාර්තාවලට අනුව අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් තොරතුරු 'හැක්' කිරීමේ නිරත 'Shaltai Boltai' (Humpty Dumpty) නම් සමාගමට සම්බන්ධ වූවෝ වෙති.

රුසියාවේ මුල්පෙළේ දේශපාලකයන් ගේ තොරතුරු අවුස්සා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් එම සමාගම නම් දරයි.