ට්‍රම්ප් නිසා බලතුලනය අර්බුදයකද?

  • 2017 පෙබරවාරි 8
Image copyright Getty Images
Image caption ජනාධිපති ට්‍රම්ප් විසින් අධිකරණයේ විනිසුරුවන්ගේ අධිකාරිත්වය අභියෝගයට ලක්කරනු ලැබ තිබේ

තමා එක්සත් ජනපදය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරමින් සිටින නමුත් "ඊනියා විනිසුරුවරයා" විසින් එම කර්තව්‍යය ඉතා අපහසුකර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නමුත් සංක්‍රමණිකයන් පිළිබඳව ජනාධිපතිවරයා දුන් විධායක නියෝගය නතර කළ විනිසුරුවරයා කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියාව නීතියට එකඟ නොවන බව තමා පෙන්වා දුන් බවය.

විධායකය සහ අධිකරණය අතර මතුව ඇති මෙම න්‍යායික පරස්පරතාව අර්බුදයක් බවට පත්විය හැකිය.

එක්සත් ජනපදය පාලනය වන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා එරට ව්‍යවස්ථාවට අනුව බලය බෙදීගොස් ඇති ආකාරය තේරුම් වැදගත් වෙයි.

ෆෙඩරල් ආණ්ඩුවේ බලය එකිනෙකට වෙනස් අංශ තුනකට බෙදී ඇත. එනම්,

  • විධායකය: මෙය ජනාධිපතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයයි.
  • ව්‍යවස්ථාදායකය: මෙය නීති සම්පාදනය කෙරෙන කොන්ග්‍රසයයි.
  • අධිකරණය

මෙම ශාඛා තුන එකිනෙකට සහයෝගයෙන් කටයුතු කරද්දී මෙය හොඳින් ක්‍රියාත්මක වනු ඇත.

නමුත් ජනාධිපතිවරයා මින් එක් ශාඛාවක් සමඟ හෝ ගැටුමකට අවතීර්ණ වූ අවස්ථාවක අවුල් ජාලයකට මුහුණදීමට සිදුවිය හැකිය.

එවැනි අවස්ථාවක් විසඳුම් රහිත ව්‍යවස්ථා අර්බුදයක් දක්වා දුරදිග යාමට ද ඉඩකඩ පවතී.

වත්මන් තත්වය සළකා බැලීමේදී ජනාධිපති ට්‍රම්ප් විසින් අධිකරණයේ විනිසුරුවන්ගේ අධිකාරිත්වය අභියෝගයට ලක්කරනු ලැබ තිබේ.

විනිසුරුවන්ට සහ ජනපතිට ඇත්තේ සම බලයක්ද?

එක්සත් ජනපදයේ ෆෙඩරල් දිස්ත්‍රික් විනිසුරුවෝ 700ක් පමණ සිටිති.

ප්‍රාන්ත අධිකරණ විනිසුරුවන්ට වඩා වෙනස් වූ මොවුහු ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු ෆෙඩරල් අධිකරණ පද්ධතියේ කොටස්කරුවෝය.

විශේෂයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවකදී හැරෙන්නට සාමාන්‍යයෙන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව අධිකරණය සිය මතය හෝ අදහස ඉදිරිපත් නොකරයි.

අධිකරණය විසින් සිදු කරනු ලබන්නේ තමා ඉදිරියේ විභාග කිරීම සඳහා ඉදිරිපත්වී ඇති කාරණය පවතින නීතියට අනුකූලව විමසා බලා තීන්දුව ප්‍රකාශ කිරීම පමණකි.

නීති සම්පාදනය සහ ඒවා බලාත්මක කිරීම විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් සිදුවන අතර අධිකරණයෙන් සිදුකෙරෙන්නේ මතභේදයට තුඩුදුන් යමක් වේනම් එහි නීත්‍යනුකූලභාවය සොයා බැලීම ය.

වත්මන් ගැටලුවවී ඇත්තේ ද එයම ය.

Image copyright Getty Images
Image caption අධිකරණය ඉදිරිපිට පැවති විරෝධතාවක්

ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගයට සියලු බලතල පවතින නමුත් එය අධිකරණයේ පරීක්ෂාවට ලක්වී ඇත.

අධිකරණය සතු අධිකාරිත්වය මීට පෙර ද කිහිප විටෙක පාවිච්චිකර තිබේ.

ලේඛනගත නොවූ සරණාගතයන්ට පොදු සමාවක් ලබාදීමට 2015 දී බරක් ඔබාමා විධායක බලය යොදාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී අධිකරණයෙන් වාරණයක් නිකුත් විය.

'ග්වන්තනමෝ බේ' රැඳවුම්කරුවන් පිළිබඳව විධායක නියෝගයක් ක්‍රියාත්මක කිරීමට සැරසුණු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට ද අධිකරණය හරස් විය.

ට්‍රම්ප් මෙම විනිසුරුවරයා සේවයෙන් පහ නොකළේ ඇයි?

සෙනෙට් සභාවේ අනුමැතිය ඇතිව දිස්ත්‍රික් විනිසුරුවන් පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බව සැබවි.

ජනපති ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩ ඔස්සේ "ඊනියා විනිසුරුවා" ලෙසින් හඳුන්වනු ලැබූ ජේම්ස් රොබාර්ට් විනිසුරු ධුරයට පත් කරනු ලැබ ඇත්තේ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසිනි.

නමුත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එම විනිසුරුවරයා සේවයෙන් පහකිරීමට හැකියාවක් නොමැත.

ඊට හේතුව අධිකරණයට බාහිර බලපෑම් එල්ලවීම වළක්වාලමින් එක්සත් ජනපදයේ නිර්මාතෘවරයා ව්‍යවස්ථාව නිර්මාණය කර තිබීමය.

ෆෙඩරල් අධිකරණයේ විනිසුරුවරයෙකු සේවයෙන් පහකළ හැක්කේ කොංග්‍රසයේ ඉහල සහ පහළ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම අනුමැතිය ඇතිව ගෙන එන දෝෂාභියෝගයකින් පමණකි.

ජනාධිපතිවරයා බලයෙන් පහකළ හැක්කේ ද ඒ අයුරින්මය.

එක්සත් ජනපදයේ මුළු ඉතිහාසය පුරාවටම දෝෂාභියෝගයක් හරහා සේවයෙන් පහකර ඇත්තේ විනිසුරුවන් අටදෙනෙකු පමණි.

ඒ හැරෙන්නට සියලු විනිසුරුවන් තමා විසින් විශ්‍රාම යාමට තීරණය කළහොත් හැරෙන්නට දිවි ඇති තෙක් සේවය කරනු ඇත.

Image copyright TWITTER / @REALDONALDTRUMP
Image caption විනිසුරුවරයා විවේචනය කරමින් ජනාධිපති ට්‍රම්ප් නිකුත්කළ ට්විටර් පණිවිඩයක්

ශ්‍රේෂ්ඨාධිකරණය යනු කුමක්ද?

නමින්ම ගම්‍යවන ආකාරයට අධිකරණ පද්ධතියේ ඉහලම බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවන අතර අනෙකුත් සියලු උසාවි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට යටත්ය.

එමනිසා සරණාගතයන් පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගයට එරෙහිව දිස්ත්‍රික් උසාවිය නිකුත් කළ වාරණය පිළිබඳව අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යාමට ආණ්ඩුවට තවමත් ඉඩප්‍රස්ථාව පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණය ද බාහිර බලපෑම්වලින් ආරක්‍ෂාවී ඇති නමුදු මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සතුව ඇත්තේ විනිසුරුවන් අටදෙනෙකු පමණි.

ඉන් හතර දෙනෙකු ඩිමොක්‍රටික් පක්‍ෂය මගින්ද අනෙක් සිව්දෙනා රිපබ්ලිකන් පක්ෂයෙන්ද පත්වී ඇති අතර එක් විනිසුරුවරයෙකු සඳහා පුරප්පාඩුවක් පවතී.

ජනාධිපති ට්‍රම්ප් විසින් යෝජනා කරනු ලබන විනිසුරුවරයෙකු එම පුරප්පාඩුවට පත්වීමට නියමිත හෙයින් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ බල සමතුලිතය බිඳි යනු ඇත.

Image copyright AFP
Image caption ට්‍රම්ප් පියවරක් පසුපසට තබයිද?

ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය කුමක්ද?

ජනාධිපතිවරයා සහ අධිකරණය අතර ඇතිවන ප්‍රශ්නයකදී ජනාධිපතිවරයාගේ නියෝගය වෙනස් කිරීමට නව නීතියක් සම්මත කරගැනීමේ බලය කොන්ග්‍රසය සතුව පවතී.

එමෙන්ම ජනාධිපතිවරයෙකු හෝ විනිසුරුවරයෙකු සේවයෙන් පහ කිරීමටද කොන්ග්‍රසයට බලයක් ඇත.

කොන්ග්‍රසයේ බහුතර බලය ජනාධිපති ට්‍රම්ප් සතුව පවතින හෙයින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ජයගැනීම අසීරු දෙයකි.

එමෙන්ම අධිකරණයේ ස්වාධිපත්‍යය, එක්සත් ජනපද පාලන තන්ත්‍රය තුළ අනිවාර්ය අංගයක් වනබැවින් ජනාධිපතිවරයෙකු වෙනුවෙන් විනිසුරුවරයෙකුට එරෙහිව යාම ඉතා දැඩි පියවරක් වනු ඇත.

තත්වය එසේ වී නමුදු, බල ත්‍රිත්වයෙන් දෙදෙනෙකු ගැටුමකට අවතීර්ණවී ඇත්නම් නිරායාසයෙන්ම ඒ පිළිබඳව තීන්දුවක් ගැනීම කොන්ග්‍රසයට භාරවනු ඇත.

නැතහොත් ජනාධිපති ට්‍රම්ප් සිය විධායක නියෝගය සංශෝධනයකට ලක්කළ යුතුය.

මීට පෙර බලයේ සිටි ජනාධිපතිවරුන් ද අධිකරණයේ විරෝධය මතුවූ අවස්ථාවන්හිදී හිසනමා පියවරක් පසුපසට තබා ඇති හෙයින් මේ අවස්ථාවේදී වඩාත් ප්‍රඥා ගෝචර විය හැක්කේ එයයි.

කෙසේ නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය වෙනස්වන හැඩක් තවමත් පෙනෙන්නට නැත.