චින්නම්මාගේ සිහිනය සැබෑ වේද?

  • 2017 පෙබරවාරි 8
Image caption දශකයක තුනකට ආසන්න කාලයක් තිස්සේ ජයලලිතාගේ විශ්වසනීය මිතුරිය වූ සසිකලා ප්‍රසිද්ධියට පත්ව සිටියේ "චින්නම්මා" (පුංචි අම්මා) යන නාමයෙනි

තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිනිය ලෙස පත්වීමට නියමිත සසිකලා නටරාජන්ට එරෙහිව වත්මන් මහ ඇමතිවරයා කැරලිගැසීමෙන් අනතුරුව දේශපාලන අර්බුදයක් හටගෙන තිබේ.

තමිල්නාඩුවේ පාලක පක්‍ෂය වන අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්‍ෂය පසුගියදා නිවේදනයකර සිටියේ මීළඟ පක්ෂ නායිකාව සහ මහ ඇමතිනිය වශයෙන් සසිකලා නටරාජන් පත්වනු ඇති බවය.

දශකයක තුනකට ආසන්න කාලයක් තිස්සේ ජයලලිතාගේ විශ්වසනීය මිතුරිය වූ සසිකලා ප්‍රසිද්ධියට පත්ව සිටියේ "චින්නම්මා" (පුංචි අම්මා) යන නාමයෙනි.

හිටපු මහ ඇමතිනි ජයලලිතා මරණයට පත්වීමෙන් පසු තමිල්නාඩුවේ මහ ඇමතිධුරය භාරගත් ඕ. පනීර්සෙල්වම් පසුගිය ඉරිදා (පෙබ. 05) ඉල්ලා අස්විය.

Image copyright AFP
Image caption ජයලලිතා මරණයට පත්වීමෙන් පසු තමිල්නාඩුවේ මහ ඇමතිධුරය භාරගත් ඕ. පනීර්සෙල්වම්

ඊයේ (පෙබ. 07) ඔහු ජයලලිතාගේ සොහොන් කොත අබියසට ගොස් විනාඩි 40ක් පමණ භාවනාවේ යෙදී සිටියේය.

අනතුරුව පනීර්සෙල්වම් නිවේදනය කර සිටියේ ජයලලිතාගේ කැමැත්ත අනුව තමන් මහ ඇමතිධුරය භාරගත් නමුත් ඉන් ඉල්ලා අස්වීමට බල කෙරුණු බවය.

"ජනතාව ඉල්ලා සිටින්නේ නම්" නැවත මහ ඇමතිධුරය භාර ගැනීමට තමා සුදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Image caption සසිකලා දේශපාලන වේදිකාවේ ද නිතර පෙනී සිටියාය

මේ අනුව තමිල්නාඩුවේ ආණ්ඩුකාරවරයාගේ රාජකාරිය වනු ඇත්තේ ප්‍රාන්ත ආණ්ඩුව තුළ තමන්ට ඇති බහුතර සහයෝගය පෙන්වන ලෙස පනීර්සෙල්වම්ට දැනුම්දීම හෝ සසිකලාට මහ ඇමතිනිය ලෙස දිවුරුම් දෙන ලෙස ආරාධනා කිරීමය.

2014 වසරේ දී ජයලලිතාට එරෙහිව විභාග වූ දූෂණ චෝදනා නඩුවේ, සසිකලා ද චූදිතයෙකු වුවාය.

එම නඩුවෙන් පරාජයට පත්වූ ජයලලිතාට මහ ඇමැතිධුරයෙන් ඉවත්වීමට සිදුවූ නමුත් 2015 දී කර්ණාටක ප්‍රාන්තයේ ඉහළ උසාවියක් මගින් නිදොස් කිරීමෙන් අනතුරුව ඇය යළි මහ ඇමතිනිය ලෙස දිවුරුම් දුන්නාය.

කෙසේ නමුත් මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවේ තීන්දුව ලබන සතියේ නිකුත්වීමට නියමිතය.

එහිදී සසිකලා වරදකාරිය බවට තීන්දු වුවහොත් ඇයට වසර හයක් ගතවන තුරු කිසිදු දේශපාලන තනතුරක් දැරීම තහනම් වනු ඇත.

මධ්‍යම පාන්තික පවුලක උපන් සසිකලා සිය දිවියේ මුල් කාලය ගතකළේ තන්ජාවුර් දිස්ත්‍රික්කයේ ය.

තම ස්වාමි පුරුෂයාගේ රැකියාව අහිමිවීමෙන් අනතුරුව පවුල නඩත්තුකිරීම සඳහා ඇය වීඩියෝ පට කුලියට දෙන වෙළඳ සැලක් ආරම්භ කළාය.

මේ අතරතුර හිතවතෙකු මාර්ගයෙන් ජයලලිතා හඳුනාගැනීමට සසිකලාට අවස්ථාව උදාවිය.