මොහමඩ් නෂීඩ් යළිත් මාල දිවයින් දේශපාලනයට?

  • 2017 පෙබරවාරි 9
Image caption බලයෙන් පහ කෙරුණ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්

ලබන වසරේ පැවැත්වීමට නියමිත මාල දිවයින් ජනාධිපතිවරණයේ දී තරඟ වැදීම සඳහා තමා යළිත් සියරට යන බව එරට හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් පවසයි.

රටින් පිටව බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ දී සිය අනාගත සැලසුම් ප්‍රකාශයට පත්කරමිනි.

සිය පක්ෂය මේ වසර අවසානයේ පක්ෂ අභ්‍යන්තරයේ මූලික ඡන්ද විමසීමක් සිදුකරනු ඇතැයි සඳහන් කළ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්, පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වීමට තමා බලාපොරොත්තු වෙන බව සඳහන් කළේය.

එහෙත් මාල දිවයින් අධිකරණය මගින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව වසර දහතුනක සිර දඬුවමක් නියම කරනු ලැබ ඇති හෙයින් යළි ජනාධිපති පදවියට තරඟ වැදීම අතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට ඉඩක් නොමැත.

මොහමඩ් නෂීඩ් එවැනි සිර දඬුවමකට යටත් කරන ලද්දේ ඔහු ජනාධිපති පදවියේ සිටියදී විනිසකරුවකු අත්අඩංගුවට ගන්නා මෙන් සිදුකළ නියෝගයක් සම්බන්ධයෙනි.

බන්ධනාගාරගතව සිටියදී මාල දිවයින් බලධාරීන්ගේ අවසරය ඇතිව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයට පැමිණි මොහමඩ් නෂීඩ්, දේශපාලන රැකවරණ ලැබ එහි ජීවත් වෙයි.

හිටපු ජනාධිපතිවරයා සිර දඬුවමකට යටත් කරනු ලැබීම පදනමක් නොමැති ක්‍රියාවක් හැටියට දෝෂ දර්ශනයට ලක්කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔහු නිදහස් කරන මෙන් මාලදිවයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.