කිම් ජොන් නාම් ඝාතනය: 'ප්‍රශ්න වැලක්'

  • 2017 පෙබරවාරි 17
Once doted on by his father, Kim Jong-nam had a long fall from grace as a man Image copyright AFP

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන් නාම් පසුගිය සඳුදා මැලේසියාවේ ගුවන් තොටුපොළේදී ඝාතනය කෙරිණ. ඔහුගේ මරණයේ අබිරහස පිළිබඳව ක්වාලාලම්පූර් අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය කරිෂ්මා වස්වානි කරන විමසුමකි මේ.

ක්වාලාලම්පූර් අගනුවර ගුවන්තොටුපොළේදී කිම් ජොන් නාම් අබිරහස් අන්දමින් මරණයට පත්වීමේ අබිරහස තවමත් විසඳි නැත.

ඔහු සතුව කිම් චෝල් නම සඳහන් ගුවන් ගමන් බලපත්‍රයක් තිබුණු බව මුලදී සඳහන් කළ මැලේසියානු බලධාරීහු ඔහු කිම් ජොන් නාම් බව සනාථකිරීම ප්‍රතික්ෂේප කළේය.

එහෙත් උතුරු කොරියානු පාලනයේ නියෝග මත ඔහු ඝාතනය කරනු ලැබ ඇති බව දකුණු කොරියාව මුල සිටම අවධාරණය කළේය.

සිය රටේදී මියගොස් තිබෙන්නේ උතුරු කොරියානු නායකයාගේ සොහොයුරා බව අවසානයේදී මැලේසියාව සනාථ කළේ පසුගිය බදාදාය.

Image copyright REX/SHUTTERSTOCK

ගුවන් ගමන් බලපත් දෙකක් ඔහු සතුව තිබී ඇතැයි පෙනී යන බව මැලේසියාවේ නියෝජ්‍ය අගමැතිවරයා සඳහන් කළේය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් මැලේසියාව ඉතා ප්‍රවේශම් සහගත ආකල්පයක් දක්වන බව මුලසිටම පෙනෙන්නට තිබිණ. සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මැලේසියානු බලධාරීන් සනාථ කළේ ඒ පිළිබඳව බොහෝ මාධ්‍ය වාර්තා පළවීමෙන් පැය ගණනාවකට පසුවය.

ඒ පිළිබඳව පොලිසියේත් විවිධ කාර්යාංශවල වාර්තා එකිනෙකට පරස්පරවීම තත්වය තවත් ව්‍යාකූල කළේය.

දැනට සනාථ වී තිබෙන කරුණු අනුව කිම් ජොන් නාම් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරින් දෙදෙනකු කාන්තාවන්ය.

එක් කාන්තාවක් ඉන්දුනීසියානු ජාතිකයකුවන අතර, අනෙක් නාන්තාව සතුව වියට්නාම ගුවන් ගමන් බලපත්‍රයක් තිබුණු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවේ පසුවන තුන්වෙනි සැකකරු වියට්නාම ගුවන් ගමන් බලපත්‍රයක් හිමි කාන්තාවගේ පෙම්වතාවන මැලේසියානු ජාතිකයකු බවත් පොලිසිය පවසයි.

එහෙත් මේ සැකකරුවන් පිරිස කිම් ජොන් නාම් ගේ මරණයට සම්බන්ධ කෙසේ දැයි යන්න පිළිබඳව තවමත් පැහැදිලි චිත්‍රයක් නැත.

ඔහු මරුමුවට පත්වූයේ කෙසේද හෝ එයට හේතුව කවරක්ද යන්න පිළිබඳවත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකි.

සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධය අවස්ථාවේ සීසීටීවී කැමරාවල සටහන් වී තිබූ දර්ශන අනුව බව පමණක් පොලිසිය මා සමග පැවසීය.