තමිල්නාඩුව නොසංසුන්; විපක්ෂ නායක අත්අඩංගුවේ

  • 2017 පෙබරවාරි 18
Image copyright BBC Tami
Image caption ඒම කේ ස්ටාලින්

තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහඇමති එඩප්පාඩි පලනිසාමිට විශ්වාසය පළකිරීමේ යෝජනාව ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර සභාගර්භය තුළ ප්‍රචණ්ඩ තත්වයක් දක්නට ලැබුණි.

සභා ගර්භය තුළදී තමාට පහර දෙන ලදැයි පවසමින් විපක්ෂ නායක එම්.කේ.ස්ටාලින් චෙන්නායි 'මැරිනා' වෙරළේ උද්ඝෝෂණයේ නිරතව සිටි අතර ස්ටාලින් ඇතුළුව ඔහුගේ DMK පක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනකු පොලිසිය විසින් අත් අඩංගුවට ගත්බව බීබීසී දෙමළ සේවය වාර්තා කරයි.

Image copyright BBC Tamil
Image caption මහඇමති එඩප්පාඩි පලනිසාමි

සභා ගර්භයේ මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්වයක් මැද පැවති ඡන්ද විමසීමේ දී මහ ඇමති එඩප්පාඩි පලනිසාමිට පක්ෂ ජන්ද 122 ක් ලැබුණ අතර, ඔහුට එරෙහිව ලැබුණේ ඡන්ද 11 ක් පමණි.

ප්‍රධාන විපක්ෂය වන "ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම්" ඇතුළු තවත් පක්ෂ දෙකක මන්ත්‍රීවරුන් ජන්ද විමසීම ප්‍රතික්‍ෂේප කළහ.

නව මහඇමතිවරයාට විශ්වාසය පළකිරීමේ ඡන්ද විමසීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුකරු දින පහළොවක් දී තිබුණු අතර, ඉක්මනින් ජන්දය පැවැත්වීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු විරෝධය පළකළහ.

Image copyright BBC Tamil

සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන් අතර ඇති වූ නොසන්සුන් තත්වය නිසා එය පැයකට අධික කාලයක් කල් තැබීමට කථානායකවරයාට සිදුවිය.

ඇතැම් මන්ත්‍රීවරුන් ලිපිලේඛන සහ පොත්පත් ඇතුළු භාණ්ඩ කතානායක අසුන දෙසට විසිකරන ලද බවත් බීබීසී දෙමළ සේවය වාර්තා කරයි.

මෙම ගැටුමේදී විපක්ෂ නායක ස්ටාලින්ගේ කමිසය ඉරා දමා තිබුණු අතර, තුවාල ලද ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් සභාගැබෙන් ඉවත්ව යන දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණ.

Image copyright BBC Tamil
Image caption ඉරුණු කමිසයෙන් පෙනී සිටින විපක්ෂ නායක ස්ටාලින්

එවැනි ගැටුම්කාරී තත්වයක් ඇතිවුවද, ඡන්ද ප්‍රතිඵලය අනුව තමිල්නාඩු ප්‍රාන්තයේ මීළඟ මැතිවරණය එළඹෙනතෙක් ""අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම්" " පක්ෂයේ එඩප්පාඩි පලනිසාමිට මහඇමති පදවියේ රැඳී සිටීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණි.

ජලලිතා ජයරාම් පසුගිය දෙසැම්බර් මාසයේ අභාවප්‍රාප්ත වීමත් සමග තමිල්නාඩු ප්‍රාන්තය තුළ දේශපාලනය නොසංසුන් තත්වයක් මතුවිය.

Image copyright BBC Tamil

ඇයගේ අභාවයෙන් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ඕ පන්නීර් සෙල්වම් මහ ඇමතිවරයා ලෙස පත්කෙරුණු අතර, පසුව ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.

කෙසේ නමුත් ඉන්පසුව මාධ්‍ය ඇමතු ඕ පන්නීර්සෙල්වම්, තමන් මහ ධුරය යළි ලබාගෙනීමට සූදානම් බවත් ප්‍රකාශ කළේය.

Image copyright BBC Tamil
Image caption ඕ පන්නීර් සෙල්වම්

මේ අතර මහ ඇමති පදවියට තමා පත්කෙරෙන ලෙස පක්ෂයේ මහ ලේකම් සසිකලා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි අතරවාරයේ දූෂණ චෝදනා මත ඇය සිරගත කෙරුණි.

අනතුරුව "අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම්" පක්ෂයේ එඩප්පාඩි පලනිසාමි මහ ඇමතිවරයා ලෙස ආණ්ඩුකාරවරයා විසින් පත්කෙරුණු අතර, බලය තහවුරු කිරීමට දින පහළොවක් ඇතුළත මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගැනීමේ යෝජනාවක් සම්මත කරගත යුතු බව ආණ්ඩුකරු දැනුම් දුන්නේය.

Image copyright BBC Tamil
Image caption සසිකලා

ඒ සඳහාවූ ජන්දයයි අද පැවැත්වුනේ.

මේවනවිටත් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන් අතර නොසංසුන් තත්වයක් උද්ගතව පවතින අතර, එය ගැටුම්කාරී තත්වයකට හැරීමේ වාතාවරණයක් පවතින බව බීබීසී දෙමළ සේවය වාර්තා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර