මැලේසියාව සිය උතුරු කොරියානු තානාපති ආපසු කැඳවයි

  • 2017 පෙබරවාරි 20
Image caption කිම් ජොන් නාම්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සහෝදර කිම් ජොන් නාම් ගේ සැක කටයුතු මරණය මුල්කර ගනිමින් මැලේසියාව සහ උතුරු කොරියානු පාලනය එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිති.

මැලේසියාව 'පියොන් යැන්' නගරයේ සිටි තම තානාපතිවරයා ආපසු කැඳවා ඇති අතර, 'ක්වාලාලම්පූර්' නගරයේ සිටින උතුරු කොරියානු තානාපතිවරයා කිම් ජොන් නාම් ගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ දේශපාලන උවමනා අනුව සිදු කෙරෙන ඒවා බවට චෝදනා කළේය.

කිම් ජොන් නාම් වෙත ලංවූ කාන්තාවන් දෙදෙනෙක් තත්පර කීපයක කාලයක් ඔහුගේ මුවට යමක් තබන ආකාරය 'ක්වාලාලම්පූර්' ගුවන් තොටුපොලේ CCTV කැමරා දර්ශන මගින් පෙන්නුම් කෙරෙයි.

මේ අතර ක්වාලාම්පූර් නගරයේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මැලේසියානු අගමැති නජිබ් රශාක්, තමරටේ පොලිසිය සහ වෛද්‍ය නිලධාරීන් ඉතා ප්‍රශස්ත වෘත්තිකයන් වන බවත් ඔවුන්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තමාට නියත විශ්වාසයක් ඇති බවත් කියා සිටියේය.

Image caption මැලේසියානු අගමැතිවරයා

'අපේරටේ පොලිසිය සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ඔවුන් ඉටුකරන කාර්යයන් විෂයානුබද්ධවයි සිදු කරන්නේ. උතුරු කොරියාව මත නරක නාමයක් ආරෝපණය කරන්න අපට අවශ්‍ය නැහැ. මැලේසියාව නීතියට අනුව කටයුතු කරන බව උතුරු කොරියාව තේරුම් ගනීවි කියල අපි බලාපොරොත්තු වෙනවා' අගමැති නජීබ් රශාක් පවසයි.

තම දියණිය කලින් ඖෂධවේදිනියක ලෙස ක්‍රියා කල බව අත්අඩංගුවේ පසුවෙන වියට්නාම් ජාතික එක්‌ සැකකාරියකගේ පියා පවසන බවක් VnExpress වියට්නාම් අන්තර්ජාල පුවත්පත වාර්තාකරයි.