ට්‍රම්ප්ට අලුත් ආරක්‍ෂක උපදේශකයෙක්

  • 2017 පෙබරවාරි 21
Image copyright AP
Image caption ලුතිනන් ජෙනරාල් එච් ආර් මැක්මාස්ටර්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ ජාතික ආරක්‍ෂක උපදේශක තනතුරට ලුතිනන් ජෙනරාල් එච් ආර් මැක්මාස්ටර් නම්කරනු ලැබීය.

මීට පෙර එම තනතුරට පත්වූ ලුතිනන් ජෙනරාල් මයිකල් ෆ්ලින්ට සති තුනක් අවෑමෙන් ඉල්ලා අස්වීමට සිදු විය.

ඔහු සිය ඉල්ලා අස්වීම භාරදුන්නේ ඇමරිකාවේ රුසියානු තානාපතිවරයා සහ ඔහු අතර පැවති සබඳතාව පිළිබඳ අසත්‍ය තොරතුරු ධවල මන්දිරයේ නිලධාරීන් වෙත ලබා දුන් බව හෙළිවීමෙන් අනතුරුවයි.

Image copyright Reuters
Image caption ලුතිනන් ජෙනරාල් මයිකල් ෆ්ලින්ට සති තුනක් අවෑමෙන් ඉල්ලා අස්වීමට සිදු විය

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ දිවුරුම් දීමට පෙර ඇමරිකාව විසින් රුසියාවට පනවා ඇති සම්බාධක පිළිබඳව මයිකල් ෆ්ලින් රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව දුරකතන සංවාද පිළිබඳ වාර්තා මගින් හෙළිවී තිබේ.

ජාතික ආරක්‍ෂාව සඳහාවන ජනාධිපති උපදේශක තනතුරට අලුතින් නම්කෙරුණු ලුතිනන් ජෙනරාල් එච් ආර් මැක්මාස්ටර් එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ ද සේවය කර ඇත.

"තනතුර එපා"

ලුතිනන් ජෙනරාල් මයිකල් ෆ්ලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඇමෙරිකානු ආරක්ෂක උපදේශක තනතුර සඳහා ඇරයුම් ලද විශ්‍රාමික වයිස් අද්මිරාල් රොබට් හාවර්ඩ් එම ඉල්ලීම බැහැර කළේය.

සිය පවුලේ කටයුතු මෙන්ම මුල්‍ය පසුබිම සළකා හාවර්ඩ් විසින් එම තීරණය ගනු ලැබ ඇතැයි ධවල මන්දිර නිලධාරියෙකු පැවසුවද, ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන පරිදි ඒ සඳහා බාධාව වූ කරුණ නම්, රොබ්ට් හාවර්ඩ් හට තමන්ගේ ම කණ්ඩායමක් පත්කරගැනීමට තිබූ අවශ්‍යතාව වේ.