ආයු අපේක්‍ෂාව වැඩිවන කාන්තාවෝ

  • 2017 පෙබරවාරි 22
Image copyright Getty Images
Image caption ආයු අපේක්‍ෂාව සම්බන්ධයෙන් දකුණු කොරියානු කාන්තාවන් ලොව අනෙකුත් රටවල කාන්තාවන් අභිබවා යමින්

ආයු අපේක්‍ෂාව සම්බන්ධයෙන් දකුණු කොරියානු කාන්තාවන් ලොව අනෙකුත් රටවල කාන්තාවන් අභිබවා යමින් අවුරුදු 90 ක සාමාන්‍යය ඉක්මවනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

ලොව කාර්මීකරණය වූ රටවල් 35ක ජීව කාලය සම්බන්ධයෙන් ඉම්පීරියල් කොලේජ් ලන්ඩන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව කළ අධ්‍යයනයට අනුව, 2030 වනවිට එම රටවල් සියල්ලෙහි ජනතාවට දිගු ආයු කාලයක් අපේක්ෂා කළ හැකි යැයි පුරෝකථනය කෙරිණි.

එම බොහෝ රටවල පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අතර පරතරය අඩුවනු ඇතැයි ද අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.

පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි රටවල් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක්වන්නේ විශ්‍රාම වැටුප් ගෙවීම සහ වැඩිහිටි ජනතාව රැකබලාගැනීමය.

දකුණු කොරියාව විවිධ අංශවලදී ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පවසන මහාචාර්ය මජිඩ් එසාටි, "ජනතාවට ප්‍රතිලාභ අත්වන ආකාරයෙන් බොහෝ දේවල සමතැන හිමිවී ඇති ආකාරය දකින්නට පුළුවන්" යැයි සඳහන් කළේය.

"අධිරුධිරපීඩනය අඩුකිරීම සම්බන්ධයෙන් සාර්ථකත්වයක් පෙන්වන අතරම ලෝකයේ අනෙකුත් රටවල් අතරින් අඩුම ස්ථුලතා මට්ටමක් ද පෙන්වනවා." යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව මීට පෙර ඉහළ ආයු අපේක්ෂාව හිමිකරගෙන සිටි ජපානය පසුපසට ගොස් ඇති බව දත්තවලින් පෙන්වා දී ඇත.

දැනට කාන්තාවන්ගේ ඉහළ ආයු අපේක්ෂාවන් සහිත රට ලෙස ජපානය හිමිකරගෙන ඇති තත්වය ඉදිරියේදී දකුණු කොරියාව සහ ප්‍රංශය විසින් අභිබවා යනු ඇති බව අධ්‍යයනයෙන් පෙන්වාදී තිබේ.

ඇමෙරිකාව පහළට

Image copyright AP
Image caption ඇමෙරිකාවේ තත්වය මේ සම්බන්ධයෙන් දුර්වල තැනක

ඇමෙරිකාවේ තත්වය මේ සම්බන්ධයෙන් දුර්වල තැනක පවතින අතර 2030 වනවිට ධනවත් රටවල් අතරින් අඩුම ආයු අපේක්ෂාව ඇති රට බවට පත්වෙමින් සිටී.

අධ්‍යයනයෙන් පෙන්වාදෙන ආකාරයට පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 80ත්, කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 83 ත් වනු ඇති අතර එය මෙක්සිකෝව සහ ක්‍රොඒෂියාව ළඟාවන තත්වය හා සම වේ.

"එහි දකින්නට තිබෙන්නේ දකුණු කොරියාවට ප්‍රති විරුද්ධ තත්වයක්." යැයි සඳහන් කරන මහාචාර්ය එසාටි, "සමස්ත ජාතික ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරයෙන් අසමානතාව බලපා තිබෙනවා. විශ්වීය සෞඛ්‍ය රක්ෂණයක් නැති එකම රට එයයි." බව සඳහන් කළේය.

"උසින් වැඩීම නැවතී ඇති පළමු රට බවට පත්වී තිබෙනවා, එයින් පෙන්නුම් කරන්නේ මුල් අවදියේ පෝෂණයට බලපා ඇති ආකාරයක්." යැයිද ඔහු පැවසීය.