ධවල මන්දිරයේ මාධ්‍ය වාරණයක්

  • 2017 පෙබරවාරි 25
Image caption ධවල මන්දිරයේ මධ්‍යලේකම් ෂෝන් ස්පයිසර් පැවසුවේ අනෙකුත් මාධ්‍යවේදීන් සමග තොරතුරු හුවමාරු කරගන්නා විශේෂ මාධ්‍යවේදීන් කණ්ඩායමක් විසින් අදාළ ආවරණය සිදුකළ බවය

ධවල මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවලට සහභාගීවීමට තම වාර්තාකරුවන්ට අවස්ථාව නොදීම පිළිබඳව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක් අප්‍රසාදය පළ කර ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් සහ බීබීසී ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකට ධවල මන්දිරයේ මධ්‍යලේකම් ෂෝන් ස්පයිසර් විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවීමට අවස්ථාව ලැබී නොතිබීම සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතන මෙසේ තම අප්‍රසාදය පළකළහ.

ධවල මන්දිරයේ තීරණය පිළිගත නොහැකි බව පවසන නිව්යෝර්ක් ටයිම්ස් සහ සී එන්එන් ආයතන වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ඇමරිකාවේ රාජ්‍ය ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති මාධ්‍ය නිදහස තහවුරුකරන ලෙසය.

මෙම බාධාව නොනවත්වා සිදුවන්නේ නම් ඉදිරියේදී ධවලමන්දිර මාධ්‍ය සාකච්ඡාවලට සහභාගී නොවන බව වොෂිංටන් පොස්ට් ඇතුළු ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කළහ.

කෙසේවුවද ධවල මන්දිරයේ තීරණය සාධාරණීකරණය කරමින් අදහස් දැක්වූ ෂෝන් ස්පයිසර් පැවසුවේ අනෙකුත් මාධ්‍යවේදීන් සමග තොරතුරු හුවමාරු කරගන්නා විශේෂ මාධ්‍යවේදීන් කණ්ඩායමක් විසින් අදාළ ආවරණය සිදුකළ බවය.

ව්‍යාජ තොරතුරු සහ අසත්‍ය දත්ත ඇතුළත් ප්‍රවෘත්ති පැතිරී යාම වැළැක්වීමට එම මාධ්‍ය කණ්ඩායම කටයුතු කරනු ඇති බව ඔහු අවධාරණය කළේය.

මීට පෙර ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කොට තිබුණේ ඇතැම් ඇමරිකානු මාධ්‍යආයතන ජනතාවගේ සතුරන් ලෙස කටයුතුකරන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර