"ආරක්ෂාව තිබුණේ නම් ප්‍රහාරය වැළකිය හැකිව තිබුණා"

  • 2017 පෙබරවාරි 27
ප්‍රහාරයට ලක් වූ බන්ධනාගාර රථය

කළුතර බන්ධනාගාරයේ සිට සිරකරුවන් පිරිස ප්‍රවාහනය කිරීමේදී පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණේ නම් බන්ධනාගාර රථයට එල්ල වූ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බව බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි.

අමාත්‍යවරයා ඒ බව පවසන්නේ, කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේ දී සිරකරුවන් පිරිසක් රැගෙන ධාවනය වූ බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව නිවේදනයක් නිකුත්කරමිනි.

එය 'පාතාල කණ්ඩායම් දෙකක්' අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

"සාමාන්‍යයෙන් මෙවැනි බරපතල චෝදනා ලත් පාතාල සාමාජිකයන් රැගෙන යාමේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කරන අතර පොලිස් නිලධාරීන්ගේ හිඟකම නිසාවෙන් ආරක්ෂාව ලබාදිය නොහැකි බව පොලිසිය විසින් ඊයේ දිනයේදී දැනුම් දී ඇත,"යනුවෙන් අමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.

ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අමාත්‍යවරයා විසින් හිටපු මහේස්ත්‍රාත්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලද අතර, මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි ඇතුළු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බවත් නිවේදනයේ දැක්වේ.

ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර 'සමයං' හෙවත් අරුණ දමිත් උදයංග ඇතුළු සිරකරුවන් පස්දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ද වූහ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම පිණිස පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, අමාත්‍ය ස්වාමිනාදන්, නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක සහ බන්ධනාගාර ප්‍රකාශකවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර