ලොව දරුණුම බැක්ටීරියා ලැයිස්තුවකට

  • 2017 පෙබරවාරි 27
Image copyright SPL

ප්‍රතිජීවක ඖෂධ වලින් මෙල්ල කළ නොහැකි, මිනිස් සෞඛ්‍යයට බරපතලම තර්ජනයක් එල්ල කරන බැක්ටීරියා වර්ග ලැයිස්තුගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

එම ලයිස්තුවේ ඉහළින්ම ඇත්තේ රෝහල්වල නේවාසිකව හිඳින දුර්වල රෝගීන්හට රුධිර සංසරණය ආශ්‍රිත මරණීය ආසාදන මෙන්ම නියුමෝනියාව ගෙන ඒමට සමත් ඊ.කොලායි (E.coli) වැනි බැක්ටීරියා ය.

එළඹෙන ගිම්හානයට පෙර ජර්මනියේදී පැවැත්වීමට නියමිත ජී20 සමුළුවට පෙර, මෙම ලැයිස්තුව සාකච්ඡාවට කිරීමට නියමිතව තිබේ.

ආසාදනවලට එරෙහිව දැඩිව ක්‍රියාකළ හැකි නව ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා රජයන්හි අවධානය යොමු කිරීම මෙම ලැයිස්තුව සැකසීමේ අරමුණ විය.

ඇතැම් ආසාදන සඳහා දැනට පවතින ඖෂධවලින් ප්‍රතිකාර කළ නොහැකි "පශ්චාත් - ප්‍රතිජීවක යුගයක" කඩඉමකට පැමිණ ඇති බවට විශේෂඥයෝ යළි යළිත් අනතුරු අඟවති.

එවැනි තත්වයක් තුළ, දැනට පවතින සාමාන්‍ය ආසාදන ව්‍යාප්තව ගොස් මාරාන්තික ස්වභාවයක් ගොඩනගනු ඇත.

වැඩි ලාභ ඉපයිය හැකි හා පහසුවෙන් නිපදවිය හැකි ප්‍රතිජීවක ඖෂධ නිපදවීම කෙරෙහි ඖෂධ සමාගම් සිය අවධානය යොමුකරන අතර නව ප්‍රතිජීවක ඖෂධ නිපදවීම වෙළෙඳපොල බලවේගවලට පමණක් පැවරීමෙන්, ඉතා කඩිනමින් අත්‍යවශ්‍යවන්නාවූ ප්‍රතිජීවක ඖෂධනියමිත කාලයේදී නිපැයීමට නොහැකිවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළකරයි.

බීබීසී යෙන්