මව්කිරි බැංකුවක හිඟයක්

  • 2017 පෙබරවාරි 27
Image copyright Thinkstock
Image caption පසුගිය වසරේ පමණක් බිලිඳුන් 900 ක් සඳහා එලෙස මව්කිරි ලබාදී ඇති අතර එම සංඛ්‍යාව ඊට පෙර වසරට වඩා බිලිඳුන් 50 කගේ වැඩිවීමකි

අයර්ලන්තයේ 'මව්කිරි බැංකුව' සතු කිරි සංචිත අසාමාන්‍ය ලෙස සිඳී යමින් පවතින බව එහි කළමනාකාරවරිය පවසයි.

අයර්ලන්තයේ ෆර්මැනා ප්‍රාන්තයේ අර්වින්ස්ටවුන් නගරයේ ඇති එම මව්කිරි ගබඩාව වෙතින් සියගණනක් බිලිඳුන් වෙත මව්කිරි ලබාදීම සිදුකෙරෙයි.

එහෙත් එහි කළමනාකාරවරිය පවසන ආකාරයට ඔවුන් සතුව ඇත්තේ තවත් සති දෙකක කාලයක් සඳහා අවශ්‍ය මව්කිරි සංචිතයක් පමණි.

එබැවින් මව්කිරි ලබාදෙන ලෙස ඇය මව්වරුන්ගෙන් ඉල්ලීමක් කරයී.

අඩුමාසයේ දරු උපත්

ඈන් මැක්‍රියා පවසන ආකාරයට අඩුමාසයේ දරු උපත් සහිත බිලිඳුන්ගේ ජීවිත රැකදෙන්නේ මෙම 'මව්කිරි බැංකුව'යි

"මේ පුංචි බිළිඳුන්ට මව්කිරි කියන්නෙ හරියට රත්තරං වගේ. ඒක තමයි ඔවුන්ට බෙහෙත් දියරයක් වෙන්නෙත්. ඒ බිළිඳුන්ගේ බඩවැල් ක්‍රියාකරන්න පටන්ගන්නෙ මව්කිරි නිසා. ඒ වගේම බාහිර ආසාදන වලින් ඔවුන් ආරක්ෂා කරගන්නෙ මව්කිරි. ඒ කුඩා බිලිඳුන්ට මුහුණ දෙන්නට සිදුවන අලුත් ආසාදනයන්ට ගැළපෙන ආකාරයෙන් වෙනස් වෙමින් මව්කිරි තමයි ආරක්ෂාව සපයන්නෙ" යනුවෙන් ඇය පවසන්නීය.

ඇය වැඩිදුරටත් පැවසුවේ ඇතැම් අවස්ථාවල එම බිලිඳුන් ජීවත්වෙනවාද මියයනවාද යන්න තීරණය කෙරෙන්නේද මව්කිරි ලබාදීම මත බවය.

'වෙස්ටර්න් හෙල්ත් සෝෂල් කෙයාර් ට්‍රස්ට්' නමැති ආයතනය විසින් පාලනය කරනු ලබන ෆර්මැනා මව්කිරි බැංකුව ආරම්භ වූයේ මෙයට වසර 17 කට පෙරදීය.

අයර්ලන්තය තුළ ඇති සියලුම රෝහල්වල අඩුවයස් දරු උපත් ඒකක සඳහා මව්කිරි ලබාදෙන්නේ මෙම ආයතනය විසිනි.

මව්කිරි සඳහා ඉල්ලුම

පසුගිය වසරේ පමණක් බිලිඳුන් 900 ක් සඳහා එලෙස මව්කිරි ලබාදී ඇති අතර එම සංඛ්‍යාව ඊට පෙර වසරට වඩා බිලිඳුන් 50 කගේ වැඩිවීමකි.

මෙම මව්කිරි බැංකුවෙන් කිරි ලබාගන්නා වැඩි පිරිස සති 24 සිට 25 දක්වා කාලයකදී මව්කුස තුළ නියමිත කල් පිරීමට පළමුව උපත ලද ඉතා අඩු උපත් බරකින් යුතු බිලිඳුන්වේ.

මේ ආකාරයට මව්කිරි සඳහා ඉල්ලුම වැඩිවීමට මව්කිරි ලබාදීමේ වාසි පිළිබඳව මව්වරුන් දැනුවත්වීම මෙන්ම තවත් හේතු ඇති බව ඇය පවසයි.

"අනිත් කාරණය තමයි නිවුන්, තුන් නිවුන් සහ සිවු නිවුන් දරුඋපත් සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම. පසුගිය වසරේ අපිට මෙවැනි දරුවන් රාශියකට උදව් කරන්න සිදුවුණා. ඒ වගේ බිලිඳුන් සඳහා මව්කිරි හුඟක් අවශ්‍යවෙනව. මොකද පැහැදිළිවම එවැනි දරුවන් සඳහා අවශ්‍ය තරම් මව්කිරි ඒ මව්වරුන්ගේ ශරීරය තුළ නිෂ්පාදනය වෙන්නෙ නැහැ." යනුවෙන් ඈන් මැක්‍රියා කළමනාකාරවරිය පැවසුවාය.

පෝෂ්‍ය පදාර්ථ

රෝහල්වල ඇති අඩුවයස් දරු උපත් ඒකක මගින් විශේෂයෙන්ම මව් කිරි ඉල්ලුම්කරන්නේ අඩු මාස ගණනකින් උපදින බිලිඳුන්ට අවශ්‍ය ඉහළ කැලරි ප්‍රමාණය සහ පෝෂ්‍ය පදාර්ථ ලැබීමෙන් ඔවුන්ගේ ස්වභාවික වර්ධනයට එය හේතුවක් වන නිසා බව ඈන් වැඩිදුරටත් පවසයි.

Image copyright Reuters

මෑතකදී ආරම්භ කළ කිරි ලබාදෙන මව්වරුන් තෝරාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පැවතුණද මව්කිරි බැංකුවේ පවතින්නේ එහි ඇති ශීතකරණ පහසුකම් වලින් තුනෙන් එකක ප්‍රමාණයට සරිලන පරිදි මව්කිරි පමණක් බව ඈන් පවසයි.

මෙසේ මව්කිරි හිඟයක් ඇතිවීම අසාමන්‍ය තත්වයක් බව පවසන'වෙස්ටර්න් හෙල්ත් සෝෂල් කෙයාර් ට්‍රස්ට්'ආයතනය මව්කිරි පරිත්‍යාග කරන්නන්ගෙන් ඉල්ලා ඇත්තේ පමා නොවී කිරි ලබාදෙන ලෙසයි. විශේෂයෙන්ම දැනටමත් තමන්ගේ පෞද්ගලික ශීතකරණවල මව්කිරි ගබඩාකරගෙන සිටින මව් වරුන්ගෙන් එම ආයතනය මේ ඉල්ලීම කර ඇත.

මව් කිරි බැංකුවේ කළමණාකාරවරිය පවසන්නේ මෙවැනි මව්කිරි හිඟයක් ඇතිවූයේ ප්‍රථම වතාවට නොවන බවය.

සංචිත ඉහළ නංවීම

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී ඔවුන් කරන ඉල්ලීමට ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබෙන බව ඇය පවසයි. එබැවින් මේ හිඟය තාවකාලික ගැටලුවක් වනු ඇති බව ඇයගේ විශ්වාසයයි.

"සාමාන්‍යයෙන් අපි මේ විදියට ඉල්ලීමක් කරපුවාම හැකි ඉක්මනින් මව්වරු අපිට උදව් කරනව. ඒ නිසා අපේ සංචිත ඉහළ නංවා ගන්න අපිට පුළුවන්" යනුවෙන් ඇය පවසයි.

එක් මවකගෙන් අවම වශයෙන් මව් කිරි ලීටර් තුනක්වත් අවශ්‍ය බව පෙන්වාදෙන මෙම ආයතනය පවසන්නේ පරිත්‍යාග කරන සියලුම මව්කිරි ලෙඩ රෝග තිබේදැයි විශේෂ පරීක්ෂණයකට ලක් කරන බවය.

"අපේ සියලුම පරිත්‍යාගශීලීන් රුධිර පරීක්‍ෂණ වලට ලක්කෙරෙනව. ඒ අනුව HIV, හෙපටයිටිස් බී සහ සී HTLV එක සහ දෙක සහ සිපිලිස් වැනි රෝග සඳහා පරීක්ෂාවකට ලක් කරනව. අපි ලබාගන්න මව් කිරි හොඳින් පරීක්‍ෂා කළ ඉතාම ඉහළ තත්වයේ ඒවා බව සනාථ කරගත්තට පස්සෙ තමයි ඒ කුඩා බිලිඳුන් සඳහා අපි ඒවා නිකුත් කරන්නෙ. යනුවෙන් ඈන් මැක්‍රියා කළමනාකාරවරිය පැවසුවාය.

බීබීසී යෙන්