2018 දී සඳවටා සංචාරයක්

  • 2017 පෙබරවාරි 28
Image caption වසර 45 කට පසු පළමු වතාවට මිනිසෙකුට ඈත අභ්‍යාවකාශය වෙත යෑමේ අවස්ථාව හිමි වන බව පැවසේ

සඳවටා චාරිකාවක යෙදීමේ අපේක්ෂාවෙන් පෞද්ගලික සංචාරකයන් දෙදෙනෙකු මේ වනවිටත් ඒ සඳහා මුදල් ගෙවා ඇති බව ඇමරිකාවේ පෞද්ගලික අභ්‍යවකාශ යානා සමාගමක් වන ස්පේස් එක්ස් (SpaceX) පවසයි.

2018 වසර අවසානයේ ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම්කර ඇති මෙම සඳවටා චාරිකාව සඳහා නියමිත ගාස්තුවෙන් විශාල කොටසක් එම පුද්ගලයින් විසින් ගෙවනු ලැබ ඇති බව ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ එලන් මස්ක් පැවසීය.

මේ අනුව වසර 45 කට පසු පළමු වතාවට මිනිසෙකුට ඈත අභ්‍යාවකාශය වෙත යෑමේ අවස්ථාව හිමි වන බව ඔහු ප්‍රකාශ කළේය.

නම හෙළි නොකළ එම පුද්ගලයින් දෙදෙනා රැගෙන යාමට නියමිත අභ්‍යවකාශ යානය, මේ වසර අවසානයේදී එහි පළමු මිනිසුන් රහිත පරීක්ෂණ අභ්‍යවකාශ ගමනේ යෙදීමට නියමිතව තිබේ.

එලන් මස්ක් ප්‍රකාශ කළේ ඇමරිකාවේ නාසා ආයතනයේ සහයෝගය මත අදාළ සැලසුම සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බවය.

"මින් පෙර කිසිවකු ගමන් කර නැති වේගයකින් මෙන්ම වෙනත් අයෙකු සෞරග්‍රහ ග්‍රහ මණ්ඩලයේ නොගිය දුරකට මොවුන් යාවි" යැයි ද ඔහු සඳහන් කළේය.

Image copyright NASA
Image caption ඇපලෝ 11 සඳ ගමනේ දී 1969 වසරේ ජූලි මස 20 වැනි දින බස් ඔල්ඩ්රින් සඳ මත ගමන් කළ ආකාරය

එසේ අභ්‍යාවකාශ ගතවන ප්‍රථම සංචාරකයන් දෙදෙනාගේ නම් සඳහන් කිරීම ප්‍රතික්‍ෂේප කළ මස්ක් පැවසුවේ ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනන, හොලිවුඩ් සිනමාවට සම්බන්ධ නොවූවන් බවය.

ඇපොලෝ එකොළහ යානයේ අභ්‍යවකාශගාමීන් මෙන්ම මේ පුද්ගලයන් දෙදෙනාද නව සොයාගැනීම් පිලිබඳ මානවීය අභිලාෂයෙන් යුතුව සමස්ත මානව ප්‍රජාවේ බලාපොරොත්තු සහ සිහින රැගෙන සංචාරයේ යෙදෙනු ඇති බව ඔහු අවධාරණය කළේය.

මේ වසර අවසානයේදී ඔවුන්ගේ සෞඛ්‍යසම්පන්න බව සහ ගමන සඳහා යෝග්‍යතාව පරීක්ෂාවට ලක් කරන අතර අදාළ පුහුණුව ලබාදීමද සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

පළමු ගමන මිනිසුන් රහිතව සිදුවනු ඇති අතර ඊළඟ වාරය කාර්යමණ්ඩලයක්ද සමග 2018 වසරේ දෙවන කාර්තුවේදී සිදුවනු ඇති බව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන එලන් මස්ක් පැවසීය.

Image caption යුරෝපා අභ්‍යවකාශ ආයතනය සැලසුම් කළ සඳ මත ගම්මානයක්

මෙම සංචාරකයන් මේ ගමනේ අනතුරුදායක බව පිළිබඳ අවබෝධයෙන් යුතුව ගමනට එක්වී සිටින අතර එම අනතුරුදායක බව අවම කිරීමට හැකි සෑමක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.

මෙම සංචාරකයන් දෙදෙනා සඳ වටා කක්ෂයක ගමන් කිරීමට නියමිතව ඇති අතර ඔවුන්ට සඳේ මතුපිට සමීපව නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදාවන බවද ඔහු පැවසීය.

මෙහිදී සඳ මත පා තැබීමක් සිදුනොවේ.

1970 දශකයේ මුල් භාගයෙන් පසු ඇමරිකාව අභ්‍යාවකාශගාමීන් සඳ වෙත යවා නැත.

බීබීසී යෙන්