ට්‍රම්ප්ගේ දුරකතනයට සවන්දෙන ලෙස ඔබාමා නියෝග කළාද?

Image caption හිටපු ජනපති ඔබාමාගේ ප්‍රකාශකයෙකු කියා සිටියේ කිසිදු පුද්ගලයෙකුගේ දුරකතනයකට රහසේ සවන්දෙන ලෙස ඔබාමා නියෝග කර නොතිබුණු බවය

ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ දී තම දුරකථන සංවාදයන්ට රහසේ සවන්දෙන ලෙස හිටපු ජනාධිපති බරක් ඔබාමා නියෝග කළ බවට නගන චෝදනා සනාථ කළහැකි සාක්‍ෂි සපයන්නැයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග එල්ලවෙමින් පවතී.

ජනාධිපති ට්‍රම්ප් කර ඇති ප්‍රකාශය "බරපතළ" බවත් සිය දුරකතනයට රහසේ සවන්දීම පිළිබඳව සහ තමා එය දැනගත් ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කළයුතු බවත් රිපබ්ලිකන් පක්‍ෂයේ සෙනෙට් සභික බෙන් සාස් පැවසීය.

නමුත් රිපබ්ලිකන් පක්‍ෂය නියෝජනය කරන ජනාධිපති ට්‍රම්ප් සිය චෝදනා සනාථකිරීම සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

Image caption පසුගිය ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීම සඳහා රුසියාව මැදිහත්වී ඇති බවට චෝදනා එල්ලවී තිබේ

ජනපති ඔබාමා

හිටපු ජනපති ඔබාමාගේ ප්‍රකාශකයෙකු කියා සිටියේ කිසිදු පුද්ගලයෙකුගේ දුරකතනයකට රහසේ සවන්දෙන ලෙස ඔබාමා නියෝග කර නොතිබුණු බවය.

සිය දුරකතනයට රහසේ සවන්දුන්නේනම් එය නීතිවිරෝධී ලෙස සිදුවූවක්ද යන්න ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කළයුතු බව සෙනෙට් සභික බෙන් සාස් පැවසීය.

එක්සත් ජනපද නීතියට අනුව යමෙකුගේ දුරකතනයට රහසේ සවන්දීම අනුමත කළහැක්කේ අදාළ පුද්ගලයා විදෙස් බලවතෙකුගේ නියෝජිතයෙකු බවට විශ්වාසකිරීමට තරම් හේතු සාධක පවතීනම් පමණි.

පසුගිය ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීම සඳහා රුසියාව මැදිහත්වී ඇති බවට චෝදනා එල්ලවී තිබේ.