හූනියමක් කැපීමට දස හැවිරිදි දැරියක් බිල්ලට

Image copyright KARNATAKA POLICE
Image caption සැකකරුවන්ගේ නිවස අසලට රැස්වූ ගම්වාසීන්

දස හැවිරිදි දැරියක මරණයට පත් කළ බිලි පූජාවකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

බීබීසී හින්දි සේවයට පොලිසිය කියා සිටියේ පූජාව මෙහෙයවූ "ඇදුරාගේ" නියමය මත දස හැවිරිදි දැරිය මරා දමා ඇති බවය.

එම බිලි පූජාව පවත්වා ඇත්තේ අංශභාගයෙන් පෙළෙන රෝගියෙකු "සුවපත් කිරීම" සඳහාය.

දැරිය පැහැරගැනීම සහ ඝාතනය කිරීම යන චෝදනා මත අදාළ රෝගියාගේ සහෝදරයා සහ සහෝදරිය ද අත්අඩංගුවට ගෙන ඇත.

හූනියමක්

රෝගියාට කර ඇති හූනියමක් ඉවත්කිරීම සඳහා පවතින එකම මාර්ගය බිලි පූජාව බව "කට්ටඩියා" විසින් දැනුම් දෙනු ලැබ තිබේ.

බිල්ලට ගනු ලැබූ දැරිය පැහැරගැනීමට සම්බන්ධවී ඇතැයි සැක කෙරෙන දාහත් හැවිරිදි පිරිමි ළමයෙකු ද පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

ඝාතනයට ලක්වූ දැරියගේ දේහය මල්ලක දමා තිබියදී එය දුටු ප්‍රදේශවාසියෙකු පොලිසියට පැමිණිලි කර ඇත.