කිම් ජොන්ග් නාම් ඝාතනය: පුතුගෙන් අභිරහස් වීඩියෝවක්

  • 2017 මාර්තු 8
South Koreans watch a television broadcast of the video in Seoul (8 March 2017) Image copyright AFP
Image caption අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හරිමින් අදහස් දක්වන කිම් හන් සොල්

තමන් ආරක්ෂිතව සිටින බව ඝාතනයට ලක් වූ උතුරු කොරියානු නායකයාගේ සොහොයුරු කිම් ජොන්ග් නාම් ගේ පුත් කිම් හන් සොල් පවසයි.

ඔහු ඒ බව පවසන්නේ අන්තර්ජාලය වෙත වීඩියෝ පටයක් මුදා හරිමිනි.

තත්පර හතළිහක වීඩියෝ පටය තුළ බ්‍රිතාන්‍ය ඌරුවකට ඉංග්‍රීසි බසින් අදහස් දක්වන ඔහු තමන් සිය මව සහ සහෝදරිය සමග වාසය කරන බවත් පවසයි.

කෙසේ නමුත් තමන් සිටින ස්ථානය පිළිබඳ ඔහු කිසිදු සඳහනක් කර නොමැත.

උරුමය

Image copyright AFP
Image caption ෆින්ලන්ත රූපවාහිනී සේවයක් සමග 2012 වසරේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ කිම් හන් සොල්

උතුරු කොරියාවේ නායකත්වයට උරුමකම් කියන පුද්ගලයන් එහි වත්මන් නායක කිම් ජොන්ග් අන් ගේ ඉලක්ක බවට පත් වන්නේ නම් කිම් හන් සොල් ගේ ජීවිතයට අනතුරක් පවතින බව විශ්වාස කෙරේ.

චීනය, ඇමරිකාව සහ දකුණු කොරියාව

කිම් හන් සොල් ගේ පියාවන කිම් ජොන්ග් නාම් පසුගිය දෙසැම්බර් 13 වෙනිදා මැලේසියාවේදී ඝාතනයට ලක් විය.

Image copyright AP

මේ අතර කොරියානු අර්ධද්වීපය තුළ මතු වෙමින් පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීමේ අරමුණින් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නවතා දමන ලෙස චීනය උතුරු කොරියාවට බල කර සිටියි.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව විසින් සිදු කරනු ලබන ඒකාබද්ධ හමුදා අභ්‍යාස නවතා දමන ලෙසත් චීන විදේශ අමාත්‍ය වාන්ග් යී ඉල්ලීමක් කළේය.

උතුරු කොරියාව සඳුදා ජපාන මුහුද දෙසට බැලිස්ටික් මිසයිල 4 ක් මුදා හැරියේය.

ඉන් මිසයිල තුනක් කිලෝමීටර 1000ක (සැතපුම් 620) දුර ගමන්කොට ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයට අයත් මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති අතර ජපාන අගමැති ෂින්සෝ අබේ මෙය හැඳින්වුයේ "නව අදියරක තර්ජනයක්" ලෙසිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර