සමාජ මාධ්‍යජාල භාවිතය ‘තනිකම වැඩිකරයි’

Image caption අන්තර්ජාලය තුළ වැඩි කාලයක් ගතකිරීම මගින් සැබෑ ලෝකය සමග සහ සම්බන්ධතාව පවත්වාගැනීමට ඇති කාලය අඩුවන බව වාර්තාව මගින් පෙන්වා දී ඇත

ට්විටර්, ෆේස්බුක් සහ පින්ටරෙස්ට් වැනි සමාජ මාධ්‍ය ජාල බොහෝදෙනෙකුට තනිකම පිළිබඳ හැඟීම වැඩිකිරීමට හේතුවන බව ඇමරිකානු මානසික වෛද්‍යවරු පවසති.

දිනකට පැය දෙකකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම තුළින් පුද්ගලයෙකු සමාජයෙන් වෙන්වීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩිවන බව සමීක්‍ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.

අනෙකුත් පුද්ගලයන් තමන්ගේ ජීවිත පිළිබඳ කරන මනෝමය හුවා දැක්වීම් යමෙකු තුළ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ඇතිවීමට හේතුවක් වන බව ද එහි සඳහන් වේ.

අදාළ අධ්‍යයනය මගින් ඉන්ස්ටග්‍රෑම්, ස්නැප් චැට් සහ ටම්බ්ලර් වැනි සමාජ මධ්‍යජාල භාවිත කරන්නන් පිළිබඳව ද අධ්‍යයනය කර ඇත.

ඍණාත්මක ආකල්ප

සමාජ මාධ්‍යජාල තුළ දකින දෙය අත්‍යාවශ්‍යයෙන්ම යමෙකුගේ ඍණාත්මක ආකල්පවලට හේතුවක් වන බවක් මේ මගින් නොපැවසුනද, එය ද එක් හේතුවක් වන බව සිහිතබාගැනීම වැදගත්වේ.

සරළව පවසන්නේ නම් යමෙකු තුළ ඇති හැඟීම් වැඩිදියුණුවීමට සමාජ මාධ්‍ය ජාල තුළ දකිනදේ හේතුවන බව පැවසේ.

"සමාජ මධ්‍යජාල භාවිතය සහ සමාජයෙන් වෙන්වී ඇතැයි යන හැඟීම යනදෙක අතරින් මුලින් සිදුවන්නේ කුමක්ද කියල අපිට හරියටම කියන්න බැහැ" යනුවෙන් පවසන අදාළ අධ්‍යයනයේ සම කර්තෘ මෙන්ම පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය එළිසබෙත් මිලර් සඳහන් කරන්නේ සමාජයෙන් හුදකලා වූ බවක් දැනෙන නිසා තරුණ තරුණියන් සමාජ මාධ්‍යජාල වලට යොමුවීම සිදුවිය හැකි බවය.

එසේම සමාජ මාධ්‍ය ජාල භාවිතය වැඩිවීම හේතුවෙන් සැබෑ ලෝකය තුළ හුදකලාවීම බඳු හැඟීමක් ඇතිවිය හැකි බව ද මහාචාර්ය මිලර් පවසන්නීය.

අදාළ වාර්තාව මගින් මතුකර දක්වා ඇති සිද්ධාන්ත අනුව, අන්තර්ජාලය තුළ වැඩි කාලයක් ගතකිරීම මගින් සැබෑ ලෝකය සමග සහ සම්බන්ධතාව පවත්වාගැනීමට ඇති කාලය අඩුවන බවය.

සමාජයෙන් හුදකලාවීම

තමාට ආරාධනා නොලැබුණු අවස්ථාවලට එක්වූ අනෙකුත් මිතුරු මිතුරියන් විනෝදවන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවලින් දැකීමේ දී යමෙකු තුළ තමා පිටස්තරයකු ලෙස දැනෙන හැඟීම වැඩි වීමට හේතුවේ.

ඉහත කී සමීක්ෂණය සඳහා වයස 19 ත් 32 ත් අතර වැඩිහිටියන් 2000 ක් සහභාගී වී ඇත.

පිට්ස්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය බ්‍රයන් ප්‍රිමැක් පවසන්නේ " තරුණ වැඩිහිටියන් අතර මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්ණ සහ සමාජයෙන් හුදකලාවීම වසංගතයක මට්ටම දක්වා පැමිණ ඇති නිසා මෙය අධ්‍යයනය කළ යුතු වැදගත් කාරණයක් බවට පත්වෙලා" යනුවෙනි.

"අප සහජයෙන් ම සමාජ සත්වයන් වුනත් නවීන ජීවන රටාව මගින් අපව එක් කිරීමකට වඩා වෙන්කරන ප්‍රවනතාවක් පවතිනවා" යනුවෙන් පවසන මහාචාර්ය බ්‍රයන් "සමාජය තුළ හිස්තැන් පිරවීමේ අවස්ථා සමාජ ජාල විසින් සම්පාදනය කරනු ලබන බව පෙනෙන්නට තිබුනත්, මේ අධ්‍යයනයෙන් පෙනෙන්නට තිබෙන්නේ, ඇතැම්විට මිනිසුන් අපේක්ෂා කරන විසඳුම එය නොවන බවයි" යනුවෙන් අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර