සේදුම් යන්ත්‍ර වලට 'ව්‍යංජන බොත්තමක්'

  • 2017 මාර්තු 10
Image copyright Getty Images

ඇඳුම් මත ව්‍යංජන ඉහිරීමෙන් ඇතිවන පැල්ලම් ඉවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද විශේෂ ක්‍රියාකාරිත්වයක් සහිත සේදුම් යන්ත්‍රයක් ඉන්දීය වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

නව සේදුම් යන්ත්‍රය හඳුන්වා දුන් පැනසොනික් සමාගම කියා සිටියේ ඇඳුම් වල ඇති ව්‍යංජන පැල්ලම් ඉවත් නොවන බවට සිය ගැනුම්කරුවන් විසින් දිගින් දිගටම කළ පැමිණිලි සැලකිල්ලට ගෙන සේදුම් යන්ත්‍රයට එම නව අංගය එක් කළ බවය.

ජලයේ පැවතිය යුතු උෂ්ණත්වය සහ යන්ත්‍රය තුළට ජලය ගලායාමේ වේගය වෙනස් කරමින් අවුරුදු දෙකක කාලයක් සිදු කළ අත්හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම නව නිර්මාණය හැඳින්විය හැකි බව සමාගම පවසයි.

Image copyright PANASONIC

ඉන්දීය වෙළෙඳපොල ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන ලද සේදුම් යන්ත්‍රයට තවත් නව උපක්‍රම පහක් පමණ ඇතුළත් කර ඇති අතර ඉන් එක් අංගයක් වන්නේ හිසේ ආලේපය කරන තෙල් හේතුවෙන් ඇඳුම්වල මතුවෙන පැල්ලම් ඉවත් කිරීමට ඇති හැකියාවයි.

පැනසොනික් සමාගම වැඩි දුරටත් කියා සිටියේ, විවිධ ආසියාතික රටවල වෙළඳපොළට ගැලපෙන අයුරින් සේදුම් යන්ත්‍ර නිර්මාණය කිරීමට තමන් සැලසුම් කරමින් සිටින අතර, ඒ ඒ රටවලට අවේනික ද්‍රව්‍යවලින් ඇඳුම්වල හැදෙන පැල්ලම් ඉවත්කිරීමට එම සේදුම් යන්ත්‍රවලට හැකිවනු ඇති බවය.

සේදුම් යන්ත්‍ර නිෂ්පාදනයේ ආධිපත්‍යයක් දරන දකුණු කොරියානු නිෂ්පාදන සමඟ තරඟකාරී මට්ටමින් ඉන්දීය වෙළඳපොළ තුළ සිය විකිණුම් වර්ධනය කර ගැනීමට මෙම නව සැලසුම හරහා උත්සාහ කරන බවත් පැනසොනික් සමාගම පවසයි.

බීබීසී යෙන්