උතුරු කොරියානුවන් පනස්දෙනෙකු මැලේසියාවෙන් පිටුවහල් කෙරෙයි

  • 2017 මාර්තු 14
Image copyright AP
Image caption කිම් ජොන්ග් නාම් පසුගිය මාසයේ මැලේසියාවේදී ඝාතනයට ලක්වීමත් සමග දෙරටේ සබඳතාවල මතුවූ අර්බුදකාරී තත්ත්වය මෙතෙක් සමනය වී නැත.

වීසා බලපත් කල් ඉකුත්වීමෙන් පසුවත් රටතුළ රැඳී සිටින උතුරු කොරියානු ජාතිකයන් පනස්දෙනෙකු පිටුවහල් කිරීමට කටයුතුකරන බව මැලේසියාව පවසයි. එරට මේ පියවර ගනු ලබන්නේ උතුරු කොරියානුවන්ට රටින් පිටවීම වළකාලමින් මෑතදී තහනමක් ද පනවා තිබියදීය.

මෙම උතුරුකොරියානුවන් කණ්ඩායම බෝර්නියෝ දූපතේ සරවක් පළාතේ රැකියාවල යෙදෙමින් සිටින බව මැලේසියාව ප්‍රකාශ කළේය.

එහෙත් උතුරු කොරියානුවන්ට මැලේසියාවෙන් පිටවීම තහනම් කර තිබියදී මෙසේ පනස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටුවහල් කිරීමට හේතුව බලධාරීන් පවසා නැති බව වාර්තාවේ.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ගේ සහෝදරයෙකු වූ කිම් ජොන්ග් නාම් පසුගිය මාසයේ මැලේසියාවේදී ඝාතනයට ලක්වීමත් සමග දෙරටේ සබඳතාවල මතුවූ අර්බුදකාරී තත්ත්වය මෙතෙක් සමනය වී නැත.

කවාලාලම්පුර් ගුවන් තොටුපළේ දී විෂ ශරීරගත කිරීමෙන් කිම් ජොන්ග් නාම් ඝාතනය කෙරිණි. මැලේසියාව ඒ පිළිබඳව උතුරු කොරියාවට ඍජුව චෝදනා නොනැගුවද ප්යෝන්ග් යැන්ග් පාලනය බොහෝදුරට මෙයට වගකිවයුතු බවට සැක පහළවී තිබුණි.

ඝාතනයට අදාළ සැකකරුවන් භාරදෙන ලෙස විමර්ශකයින් ඉල්ලා සිටි අතර ඉන් තිදෙනෙකු මැලේසියාවේ පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලය තුළ සැඟවී සිටින බවට විශ්වාස කෙරේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර